1986 දී පස් හැවිරිදි ලෙවන් මෙරිට් එංගලන්ත්යේ ජර්සි සත්වෝද්‍යානයෙහි ගෝරිල්ලන් සිටි කූඩුවකට අඩි 20 ක් ඉහළකින් වැටුණේය. දෙමාපියන් සහ නරඹන්නන් උපකාර ඉල්ලා කෑ ගසන විට උස මහතින් යුතු ජම්බෝ නැමැති පිරිමි ගෝරිල්ලා අනික් ගෝරිල්ලන් සහ සිහිසුන්ව සිටි දරුවා අතරින් සිට ගත්තේය. ඊළඟට ඔහු දරුවාගේ පිට මෘදු ලෙස අත ගෑවේය. ලෙවන් හඩන්න පටන් ගත් කල්හි ඔහු අනික් ගෝරිල්ලන් ඔවුන්ගේ කූඩුවලට යැවීය. සත්වෝද්‍යාන නිලධාරීන් සහ ගිලන් රථ රියැදුරෙක් පැමිණ දරුවා ගළවා ගත්තෝය. වසර 30 කට පසුවත් ලෙවන් තවමත් ඒ මෘදු ගෝරිල්ලා එනම් ඔහුගේ රැකවල් දුතයා බලාපොරොත්තු නොවූ විශ්මිත ලෙසකින් ඔහු තුළ ගෝරිල්ලන් ගැන තිබු සිතුවිල්ල සදහටම වෙනස් කරමින් ක්‍රියා කළ ආකාරය ගැන කථා කරන්නේය.

එක්තරා විධියකින් දෙවියන්වහන්සේ ක්‍රියා කරනු ඇතැයි එලියා බලාපොරොත්තු වන්නට ඇත. නමුත් දෙවිවරුන්ගේත් දෙවියන්වහන්සේ පර්වත බිඳගෙන යන සුළඟක්, බලවත් භූමි කම්පාවක් සහ බුර බුරා ඇවිළෙන ගින්නක් අනාගතවක්තෘට පෙන්වූයේ උන්වහන්සේ ගැන එලෙස නොසිතන පිණිසයි. ඉන්පසුව උන්වහන්සේගේ හදවත සහ අභිමුඛය ඔහුට ප්‍රකාශ කිරීමට උන්වහන්සේ සිහින් හඬක් යොදා ගත් සේක (1 රාජාවලිය 19:11-12).

එලියා ඉන් පෙරද දෙවියන්වහන්සේගේ බලය දැක තිබුණි (18:38-39). නමුත් එම තැනැත්තාණන් දෙවිවරුන් අතර ශ්‍රේෂ්ඨතම භයංකාරවත්ම දෙවියන්වහන්සේ ලෙස ඔහු දැන සිටියේ නැත (19:10-14).

ක්‍රම ක්‍රමයෙන් එම බලවත් මෘදුකම යේසුස්වහන්සේ තුළින් පූර්ණ අර්ථයක් ගෙන දුන්නේය. යේසුස්වහන්සේ කීවේ “මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේය”
(යොහන් 14:9) කියාය. ඉන්පසුව උන්වහන්සේ නිශ්චලව තමන්වහන්සේව ගසකට තබා ඇණ ගැසීමට ඉඩ දුන් සේක. ඒ අපට ප්‍රේමකරන ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේගේත් බලාපොරොත්තු නොවන සානුකම්පිත ක්‍රියාවකි.