“අපි යන්නේ මෙහෙන්” මාගේ පුත්‍රයාගේ උරහිසට අත තබමින් මම කීවෙමි. ඒ සෙනග අතර අප ඉදිරියෙන් යමින් සිටි ඔහුගේ මව සහ සහෝදරියන් අනුගමණය කිරීම පිණිසය. අප ගිය විනෝද උද්‍යානයේදී මෙය බොහෝ වාරයක් කිරීමට සිදුවුනි. ඔහු වෙහෙසව සිටියේය. ඉක්මණින් ඔහුගේ අවධානය වෙනත් පැති වලට යොමු විය.
ඇයි ඔහුට ඔවුන් පස්සේ යන්න බැරි?” මම කල්පනා කළෙමි.

එවිට මාගේ සිතට යමක් තදින් කා වැදුණි. “ඒ දෙයම මමත් කීවරක් කර තිබෙනවාද? උන්වහන්සේගේ මාර්ගය නොසොයා මට අවශ්‍ය දේවල පසුපස යාමේ පරීක්ෂාවලට හසුවී මම කොපමණ වාරයක් දෙවියන්වහන්සේ සමග කීකරු කමෙන් ගමන් කිරීමෙන් වෙනතකට යොමු වී තිබේද?

ඉශ්‍රායලය වෙනුවෙන් දෙවියන්වහන්සේගෙන් යෙසායා ලද වචන බලන්න. “නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත” (යෙසායා 30:21). මෙම පරිච්ඡේදයෙහි මුල් කොටස්වලදී දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනගගේ කැරළිකාරකම නිසා ඔවුන්ට තරවටු කර ඇත. නමුත් ඔවුන්ගේ මාර්ග නොව උන්වහන්සේගේ ශක්තිය මත යැපෙන්නේ නම් (15 පදය) උන්වහන්සේ තම අනුග්‍රහය සහ සානුකම්පාව ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වන සේක (18 පදය).

දෙවියන්වහන්සේගේ අනුග්‍රාහිකත්වයේ එක් ප්‍රකාශයක් නම් ශුද්ධාත්මයාණන් තුළින් අපට මග පෙන්වීමය. එය සිදුවන්නේ අපි අපගේ ආශාවන් ගැන උන්වහන්සේට කථා කර උන්වහන්සේ අපට තබා ඇති දේ ගැන යාච්ඤාවෙන් ඉල්ලන විටය. අපි උන්වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේගේ හඬට සවන් දෙන කල දෙවියන්වහන්සේ ඉවසිලිවන්තව දිනෙන් දින පියවරෙන් පියවර අපට මග පෙන්වීම ගැන මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙමි.