මිෂනාරිවරියක් සහ චිත්‍රශිල්පිනියක් වූ ලිලියස් ට්‍රොටර් මිය යෑමට මොහොතකට පෙර ජනේලයකින් පිටත බැලුවාය. ඇය ස්වර්ගීය රථයක දර්ශනයක් දුටුවාය. ඇයගේ ජීවිත කථාව ලියූ කතෘට අනුව මිතුරෙකු ඇයගෙන් අසා ඇත්තේ “ඔබ බොහෝ අලංකාර දේවල් දකිනවාද?” කියාය. ඇය පිළිතුරු දුන්නේ “ඔව් බොහෝ අලංකාර දේවල්” යනුවෙනි.

ට්‍රොටර්ගේ අවසන් වදන් පිළිබිඹු කරන්නේ ඇයගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ කාර්යයි. මරණයේදී පමණක් නොව ජීවිතයෙහි පවා උන්වහන්සේ ඇයටද ඇය තුළින් අන් අයටද බොහෝ අලංකාරයන් එළිදරව් කළ සේක. ඇය ඉතා දක්ෂ චිත‍්‍ර ශිල්පිනියක් විය. එහෙත් ඇය ඇල්ජීරියාවේ යේසුස්වහන්සේගේ සේවය තෝරා ගත්තාය. ඇයට චිත්‍ර ඉගැන්වූ ජනප‍්‍රිය චිත්‍ර ශීල්පී ජෝ් රස්කින් “එය මොනතරම් නාස්තියක්ද?” කියා කී බව ප්‍රසිද්ධය. ඒ ඇය කලාවේ රැකියාවක් වෙනුවට මිෂනාරි සේවය ක්ෂේත්‍රය තෝරා ගත් නිසාය.

එලෙසම අලුත් ගිවිසුමේ ස්ත්‍රියක් ලාදුරු රෝගී සීමොන්ගේ නිවසට පැමිණ යේසුස්වහන්සේගේ හිසෙහි වටිනා සුවඳ ද්‍රව්‍යයක් වත් කලාය. එතැන සිටි අය එය නාස්තියක් බව දුටුවෝය. මෙම වටිනා සුවඳ ද්‍රව්‍යවල වටිනාකම සාමාන්‍ය පුද්ගලයෙකුගේ වසරක වැටුපකට සමානය. ඒ හෙයින් සමහරු සිතුවේ එයින් දුගියන්ට උපකාර කරන්න තිබුණාය කියාය. කෙසේ වෙතත් මෙම ස්ත්‍රිය උන්වහන්සේ කෙරෙහි තැබූ ගැඹුරු භක්තිය ගැන යේසුස්වහන්සේ කීවේ “ඈ මට කළේ යහපත් ක්‍රියාවක්ය” (මාර්ක් 14:6) කියාය.

සෑම දිනකම ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය අපගේ ජීවිත තුළ බැබළිමට ඉඩ දීමට අපට තීරණය කළ හැකිය. ඒ උන්වහන්සේගේ අලංකාරය ලෝකයට ප්‍රදර්ශනය කිරීමටය. සමහරුන්ට එය නාස්තියක් ලෙස පෙනෙනු ඇත. එහෙත් උන්වහන්සේට සේවය කිරීමට කැමති හදවතක් අපි තබා ගනිමු. උන්වහන්සේ වෙනුවෙන් අපි බොහෝ අලංකාර දේවල් කර ඇතැයි අපට යේසුස් වහන්සේ කියන සේක්වා.