ගෘහ සේවිකාව වියරුවෙන් මෙන් ගිනි ගන්නා නිවසින් කුඩාම දරුවන් ඇරගෙන පිටතට දිව්වාය. දිව යන ගමන් ඇය පස් හැවිරිදි ජැකීට මොර ගැසුවාය.

නමුත් ජැකී ඇය පසු පස ගියේ නැත. පිටත බලා සිටි අයෙකු වහාම ක්‍රියාත්මක විය. තම මිතුරෙකුගේ උරහිස් මතට නැගුණු ඔහු ඉහළ මාලයේ ජනේලයට නැග ජැකීව ආරක්‍ෂාව ඇති ස්ථානයකට ගත්තේය. එවිටම වහලය කඩා වැටුණි. ජැකීගේ මව වන සුසන්නා පැවසුවේ “ජැකී ගින්නෙන් ඇදගත් පෙනෙල්ලක්” කියාය. ඒ පෙනෙල්ල ශ්‍රේෂ්ඨ සංචාරක දේශක ජෝන් වෙස්ලි බව ඔබ දන්නවා ඇත (1703-1791).

සුසන්නා වෙස්ලි උපුටා ගත්තේ සෙකරියාවය. සෙකරියා දෙවියන්වහන්සේගේ චරිතය ගැන වටිනා ආලෝකයක් ලබා දුන් අනාගතවක්තෘ කෙනෙකි. ඔහු දුටු උසාවියේ දර්ශනයක් ඉදිරිපත් කරන සෙකරියා සාතන් උත්තම පූජක යෝෂුවා අසළ සිටගෙන සිටිනවා අපට දක්වන්නේය (3:1). සාතන් යෝෂුවාට චෝදනා කරන්නේය. නමුත් ස්වාමින්වහන්සේ සාතන්ට තරවටු කරමින් “මේ ගින්නෙන් ඇදගත් පෙනෙල්ලක් නොවේද?” කියා අසන්නේය (2 පදය). ස්වාමින්වහන්සේ යෝෂුවාට මෙසේ කියන සේක. “මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහ කළෙමි. මංගල්‍යය වස්ත්‍ර නුඹට පළඳවමි” (4 පදය).

ඊළඟට ස්වාමින්වහන්සේ යෝෂුවාට මේ අභියෝගය සහ අවස්ථාව ලබා දෙන සේක. “නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චයකරන්ටත්….. ලැබෙයි” (7 පදය).

යේසුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල තුළින් අප ලබන ත්‍යාගය පිළිබඳ කෙතරම් අනර්ඝ චිත්‍රයක්ද! උන්වහන්සේ ගින්නෙන් අපව ඇදලා ගන්නා සේක. පවිත්‍ර කරන සේක. උන්වහන්සේගේ ආත්මය අනුගමනය කරන විට අප තුළ ක්‍රියාත්මක වන සේක. ගින්නෙන් ඇදලා ගෙන ඇති ගිනි පෙනෙලි ලෙස ඔබට අපව නම් කළ හැකිය.