මුළු දවසම වෙහෙසවී සිටි ධීවරයින් පිරිසක් ස්කොට්ලන්තයේ ආපන ශාලාවක රැස්වී සිටියහ. තමන් ඇල්ලූ මසුන් ගැන කෙනෙක් තම මිතුරාට කියමින් සිටින විට ඔහුගේ අත වීදුරුවක වැදුණි. එහි තිබූ බීම සුදුපාට බිත්තියේ තැවරී විශාල පැල්ලමක් ඇති කළේය. ඔහු ආපනශාලා හිමියාගෙන් සමාව ඉල්ලා පාඩුව ගෙවීමට පොරොන්දු විය. නමුත් ඔහුට කළ හැකි කිසිවක් නොවීය. බිත්තිය විනාශ වී හමාරය. ඒ අසළ සිටි පුද්ගලයෙකු “භය වෙන්න එපා” කියා බුරුසුවක් රැගෙන කැතවී තිබුණ පැල්ලම වටා එය එහා මෙහා යැවීම ආරම්භ කළේය. කෙමෙන් කෙමෙන් අලංකාර මුව හිසක චිත්‍රයක් මතුවීමට පටන් ගත්තේය. ඒ මිනිසා ස්කොට්ලන්තයේ හොඳම සත්ව චිත්‍රකරු වූ සර් ඊ.එච්. ලෑන්ඩ්සියර්ය.

ගීතාවලිය 51 ලියූ ඉශ්‍රායෙලයේ කීර්තිමත් රජෙක් වූ දාවිත් පව්කර තමා සහ ඉශ්‍රායෙල් රට මත ලැජ්ජාව ගෙන ආවේය. ඔහු තම මිතුරාගේ භාර්යයාව සමග කාම මිථ්‍යාචාරය කළේය. ඉන්පසුව තම මිතුරා මරා දැමීය. ඒ අපරාධ දෙකටම මරණ දඬුවම හිමි විය යුතුය. ඔහුගේ ජීවිතය විනාශ යයි ඔහුට පෙනෙන්නට ඇත. නමුත් ඔහු දෙවියන්වහන්සේට කන්නලව් කළේය. “ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව” (12 පදය).

දාවිත් මෙන් අපද ලැජ්ජා සහගත වැරදි අතීතයේදී කර ඇත. ඒවා ගැන අප්‍රියජනක මතකයන් අපට තිබේ. රාත්‍රියේදී ඒවා අපගේ සිත කළඹන්නේය. අප කළ බොහෝ දේවල් මැකිය නොහැකිය. යථා තත්ත්වයට පත් කළ නොහැකිය.

අනුුග්‍රහයක් තිබේ. එය පාපයට සමාව පමණක් නොව අප සිටි තත්ත්වයට වඩා අපව යහපත් තත්ත්වයකට පත් කිරීමටද එය යොදා ගනු ලබයි. දෙවියන්වහන්සේ කිසිවක් නාස්ති කරන්නේ නැත.