මත්ද්‍රව්‍ය ප්‍රවාහණය නිසා පිරිමින් දෙදෙනෙකු මරණ දඬුවම ලැබ දශකයක කාලයක් සිර ගෙදර සිටින විට ඔවුන් කෙරෙහි යේසුස්වහන්සේ තුළ ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔවුහු දැන ගත්තෝය. ඔවුන්ගේ ජීවිත වෙනස් විය. වෙඩි තබා මැරීමට නියම වූ දින පැමිණි විට ඔවුන් “විශ්මපත් අනුග්‍රහය” යන ගීතිකාව ගායනා කරමින් ස්වාමින්ගේ යාච්ඤාව කියමින් ඝාතකයන්ට මුහුණ දුන්හ. දෙවියන්වහන්සේ කෙරෙහි වූ ඔවුන්ගේ විශ්වාසය සහ ආත්මයාණන්ගේ බලය කරණකොට ගෙන අප්‍රතිහත ධෛර්යයකින් මරණයට මුහුණ දීමට ඔවුන්ට හැකි වුනි.

ඔවුහූ තම ගැළවුම්කරුවාණන් වන යේසුස්වහන්සේගේ ඇදහිල්ලේ ආදර්ශය අනුගමණය කළෝය. තම මරණය අනිවාර්යය බව දැන ගත් විට යේසුස්වහන්සේ ගීතිකා ගයමින් එම සන්ධ්‍යාව ගත කළ සේක. එවැනි අවස්ථාවක ගායනා කරන්න හැකිවීම පුදුමාකාරය. එදින රාත්‍රියෙහි යේසුස්වහන්සේ තම මිතුරන් සමග පාස්කු භෝජනය ගත් සේක. එය සෑම විටම අවසන් වන්නේ ගීතිකා 113-118 හි හලෙල් නැමති ගීතිකා ගයමින්ය. එදින රාත්‍රියේ තමන්ව ග්‍රහණය කර ගන්නා “මරණයේ රැහැන්” ගැන උන්වහන්සේ ගායනා කළ සේක (ගීතාවලිය 116:3). එසේ වූවත් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත ප්‍රේමය ගැන (117:2) ප්‍රශංසා කර ගැළවීම ගැන තුති කළ සේක (118:14). අනිවර්යයෙන්ම එම ගීතිකා කුරුසපත් වීමට පෙර රාත්‍රියේ උන්වහන්සේට සහනයක් වන්නට ඇත.

දෙවියන්වහන්සේ කෙරෙහි යේසුස්වහන්සේගේ විශ්වාසය කෙතරම් විශාල වීද කිවහොත් තමන්වහන්සේගේ මරණය ළඟාවන විට – තමන්ට හිමි නැති මරණය – උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන ගායනා කිරීමට පටන් ගත් සේක. යේසුස්වහන්සේ නිසා තමන්ට කුමකට මුහුණ පෑමට සිදුවුවද දෙවියන්වහන්සේ අප සමග සිටින බව අපට ස්ථිර විය හැකිය.