මාගේ මිතුරිය මිළදී ගත් භාණ්ඩවලට මුදල් ගෙවීමට සුපිරි වෙළඳසැලේ පෝලිමේ සිටින විට ඇය ඉදිරියෙන් සිටි කෙනෙකු හැරී ඇයට ඩොලර් 14 ක වවුචරයක් දුන්නේය. ඔහුගේ කරුණාවන්ත ක්‍රියාව නිසා තිගැස්සී ඇය කඳුළු සැළුවාය. ඉන්පසු හැඬීම නිසා ඇය ඇයටම සිනහ වූවාය. වෙහෙසකාරී කාලයකදී මෙම බලාපොරොත්තු නොවු ක්‍රියාව ඇයගේ සිත ස්පර්ශ කළේය. ඇයට බලාපොරොත්තුවක් දුන්නේය. තව පුද්ගලයෙකු තුළින් ඇයට දෙවියන්වහන්සේ දිගුකළ යහපත්කමට ඇය ස්වාමින් වහන්සේට තුති කළාය.

එපීසයේ අන්‍යජාතික කිතුණුවන්ට පාවුල් ලිවු තේමාවක් වූයේ දීමය. ඔවුන්ගේ පරණ ජීවිතය අත්හැර අලුත් ජීවිතය අල්ලා ගැනීමට ඔහු ඔවුන්ට ආරාධනා කළේය. ඔවුන් ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන් බව ඔහු කීවේය. ඔහු ප්‍රකාශ කළේ මෙම අනුග්‍රහය තුළින් “යහපත් ක්‍රියා” කිරීමේ ආශාව අප තුළින් ගලා යන බවය. ඊට හේතුව අප උන්වහන්සේගේ ස්වරූපයෙන් මවා තිබීම සහ අපි උන්වහන්සේගේ “කර්මාන්තය” වීමය (2:10). සුපිරි වෙළඳසැලේ සිටි තැනැත්තා මෙන් අපටද අපගේ එදිනෙදා සියලු ක්‍රියා වලින් දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැතිරිය හැකිය.

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය පෙන්වීමට ද්‍රව්‍යාත්මක දේවල් දිම අත්‍යවශ්‍ය නැත. බොහෝ ක්‍රියා තුළින් අපට උන්වහන්සේගේ අනුග්‍රහය පෙන්විය හැකිය. කෙනෙකු අපට කථා කරන විට සවන් දීමට අපට කාලය දිය හැකිය. යමෙකු අපට සේවය කරන විට ඔවුන් කෙසේදැයි අපට ඇසිය හැකිය. අවශ්‍යතාවයෙන් සිටින අයෙකුට උපකාර කිරීමට නැවතිය හැකිය. අප අන් අයට දෙන විට අපට ඒ වෙනුවට ප්‍රීතිය ලැබෙන්නේය.