ඔහු ඇඳට සීමාවී සිටියද වයස 92 ක් වූ මොරී බොනාට් මිචිගන්හි පාරේ සිටි අය වෙනුවෙන් තොප්පි මැසුවේය. වසර 15 කින් ඔහු තොප්පි 8000 ක් පමණ මැසූ බව කියැවේ. ඔහුගේ සෞඛ්‍යය සහ සීමාවන් ගැන නොසිතා ඔහු තම අවශ්‍යතාවයන් වලට වඩා අන් අයගේ අවශ්‍යතාවයන් සැලකීය. එය තමාට යහපත් හැඟීම් ඇති කළ බවත් තමාට පරමාර්ථයක් දුන් බවත් ඔහු කීවේය. “කවදා හෝ ස්වාමින්වහන්සේ වෙත යන තුරු මම මේක කරනවා” ඔහු පැවසීය. එය 2018 පෙබරවාරි මාසයේදී සිදුවුනි. ඔහුගේ කථාව හෝ ඔහු තොප්පි සෑදීමට ගත් වෙහෙස තොප්පි ලබා ගත් අය නොදන්නවා ඇත. නමුත් ප්‍රේමය අත් නොහැරීමට මොරී ගත් උත්සාහය ලොව පුරා බොහෝ අය ජ්වලිත කරන්නේය.

අපටද අපගේ අරගල වලට එහා බලා අපට පෙර අන් අයව තැබිය හැකිය. එසේම අපගේ ප්‍රේමණීය සානුකම්පිත ගැළවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනුකරණය කළ හැකිය (පිලිප්පි 2:1-5). ඒ මාංශවත්වූ දෙවියන්වහන්සේය. රජුන්ගේ රජුය. උන්වහන්සේ “සේවකයෙකුගේ ස්වභාවය” ගත් සේක. ඒ සත්‍ය යටහත් කමෙන්ය. (6-7 පද). උන්වහන්සේ කුරුසියේදී අපගේ ස්ථානය ගත් සේක. ඒ උන්වහන්සේගේ ජීවිතය දීමෙනි. පරම පූජාව එයයි (8 පදය). යේසුස්වහන්සේ සියල්ල අපට දුන් සේක. ඒ සියල්ල පියවු දෙවියන්වහන්සේගේ මහිමය පිණිසය (9-11 පද).

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස කරුණාවේ ක්‍රියා තුළින් ප්‍රේමය පෙන්වීමද අන් අයට සැලකිල්ල පෙන්වීමද අපට ඇති වරප්‍රසාදයන්ය. ඒ අපට දීමට යමක් නැතැයි අප කල්පනා කරද්දී පවා අපට සේවක ආකල්පයක් ඇති කර ගත හැකිය. අපට හැකි දේ කරමින් සෙනඟගේ ජීවිතවල වෙනසක් කිරීමට අපට අවස්ථාවක් සෙවිය හැකිය.