කණස්සලු වී සිටි පියා සහ ඔහුගේ යෞවන පුත්‍රයා මන්ත්‍රකරුවා ඉදිරියෙහි වාඩිවී උන්නෝය. “ඔබගේ පුතා කොපමණ දුර යනවාද?” මන්ත්‍රකරු ඇසුවේය. මනුෂ්‍යයා පිළිතුරු දුන්නේ “විශාල නුවරට” කියාය. “ඔහු සෑහෙන කාලයක් එහේ ඉන්නවා”. පියාට සුරයක් අතට දී මන්ත‍්‍රකරු කීවේ “කොහේ ගියත් මේක ඔහුව ආරක්‍ෂා කරයි” කියාය.

එම පුතා මම වෙමි. කෙසේ වෙතත් ඒ මන්ත්‍රකරුවාට හෝ සුරයට මට කිසිවක් කිරීමට බලය නොතිබුණි. එම නුවර සිටින කාලය තුළ මම මාගේ ඇදහිල්ල යේසුස්වහන්සේ තුළ තැබීමි. මම සුරය වීසිකර යේසුස්වහන්සේට ඇලුම් වීමි. යේසුස්වහන්සේ මා තුළ ජීවත් වීම දෙවියන්වහන්සේගේ අභිමුඛය මට ස්ථිර කළේය.

වසර 30 කට පසු මාගේ සහෝදරයා ආරෝග්‍යශාලාවට ගෙන යන අවස්ථාවේදී ඒ වන විට ඇදහිලිවතෙකුව සිටි මගේ පියා මට කීවේ “අපි යාච්ඤා කරමු. දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ සමග යනවා. උන්වහන්සේ ඔබ සමග සැමවිට සිටිනවා” කියාය. අපගේ එකම ආරක්‍ෂාව දෙවියන්වහන්සේගේ අභිමුඛය සහ බලය බව අපි ඉගෙන ගෙන තිබුණි.

මෝසෙස් ඊට සමාන පාඩමක් ඉගෙන ගත්තේය. ඔහුට දෙවියන්වහන්සේගේ අභියෝගාත්මක කර්තව්‍යයක් තිබුණි. ඒ මිසරයේ වහල්කමේ සිට පොරොන්දු දේශයට සෙනග ගෙන යාමයටය (නික්මයාම 3:10). දෙවියන්වහන්සේ ඔහුට ස්ථිර කළේ ”මම නුඹ සමග සිටිමි” යනුවෙනි (12 පදය).

අපගේ ගමනේද අභියෝගයන් නැතුවා නොවේ. නමුත් අපට දෙවියන්වහන්සේගේ අභිමුඛය සහතික කර ඇත. ඒ “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි” (මතෙව් 28:20) යනුවෙන් යේසුස්වහන්සේ ගෝලයන්ට කී ලෙසය.