ඝාණාවේ ටෙකිමන් ප්‍රදේශයේ පාලම ජලපහරට ගසා ගෙන ගිය විට ටානෝ ගංගාවේ අනක් පැත්තේ එනම් නව ක්‍රෝබෝ පළාතේ සෙනග කොටු වූහ. සභාපාලක සැමුවෙල් අප්පයියාගේ සෙනග අඩුවූහ. ඊට හේතුව ඔව්හු ගංගාවේ වැරදි පැත්තේ කොටු වීමය.

කරදරය මධ්‍යයෙහි සභාපාලක සෑම් දරුවන්ගේ අනාථ නිවාසය ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. ඔහු යාච්ඤා කළේය. ඊළඟට සභාව නව ක්‍රෝබෝ පෙදෙසේ එළිමහන් රැස්වීම් තැබීය. වැඩිකල් නොයා යේසුස්වහන්සේගේ් නාමයෙන් ඔව්හු අලුත් ඇදහිලිවතුන් බව්තිස්ම කිරීම ආරම්භ කළෝය. අලුත් සභාවක් පිහිටුවන ලදී. එසේම නව ක්‍රෝබෝ පළාතේ නිවාස අවශ්‍ය අනාථ දරුවන්ට ඉඩකඩ ලැබුණි. දෙවියන්වහන්සේ තම නැවත ස්ථාපිත කිරීමේ ක්‍රියාව එම කරදරය තුළ ගෙත්තම් කරමින් සිටි සේක.

අපෝස්තලු පාවුල් නිදහසේ වැරදි පැත්තේ කොටුවූ විට ඔහු තම තත්ත්වය ගැන විලාප නැගුවේ නැත. පිලිප්පි සභාවට බලවත් ලිපියක් ලියමින් ඔහු කීවේ “සහෝදරයෙනි, මට සිදුවූ කාරණා වැඩි වශයෙන් ශුභාරංචියේ දියුණුවීමටම හැරී තිබෙන බව නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි” (පිලිප්පි 1:12) කියාය. ඔහුගේ දම්වැල් නිසා මුලු රජ මාලිගාවම ක්‍රිස්තුස්වහන්සේ ගැන දැනගත් බව ඔහු ලියයි (13 පදය). එසේම අන් අයට යේසුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ධෛර්යයක් ලැබූ බවත් ඔහු පවසයි (14 පදය).

බාධා තිබුණද තම කරදර තුළ ක්‍රියා කිරීමට දෙවියන්වහන්සේ අලුත් මාර්ග පෙන්වන බව සභාපාලක සෑම් සහ අපෝස්තලු පාවුල් දැනගත්තෝය. අපට එන අභියෝග තුළ දෙවියන්වහන්සේ කරනු ඇත්තේ කුමක්ද?