ගස නිවෙන පත්තුවෙන විදුලි බුබුළු වලින් සරසා මම රෝස සහ නිල් වර්ණ රෙදි පටි අතුවල එතීමි. එයට “ළදරුවෙක් බලාපොරොත්තු වේ” කියා නම් තැබීමි. වසර 4 ක් මමත් මගේ සැමියාත් හදා වඩා ගැනීමට දරුවෙකු සෙවීමු. නත්තලේදීවත් ළදරුවෙකු හමුවේ යයි අපි කල්පනා කළෙමු.

සෑම උදෑසනකම මම ගස අසළ නැවතී යාච්ඤා කළෙමි. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම මතක් කර ගත්තෙමි. දෙසැම්බර් 21 අපට ප්‍රවෘත්තිය ලැබුණි : නත්තලට දරුවෙකු නොලැබේ. බලාපොරොත්තු කඩවී දෙවියන්වහන්සේගේ සැපයීමේ සංකේතය වූ ගස අසල නැවතී “දෙවියන්වහන්සේ තවමත් විශ්වාසවන්තද? මම කරන්නේ වරදක්ද?” කියා මම කල්පනා කළෙමි.

සමහර විට දෙවියන්වහන්සේ ප්‍රතිඵල ප්‍රමාද කරන්නේ ප්‍රේමණීය විනයක් සඳහාය. තවත් සමහර විට අපගේ විශ්වාසය අලුත් කිරීම පිණිස දෙවියන්වහන්සේ ප්‍රේමයෙන් පිළිතුරු ප්‍රමාද කරන සේක. විලාප ගී පොතෙහි ඉශ්‍රායෙල් විනයට පත් කළ ආකාරය යෙරෙමියා විස්තර කරයි. වේදනාව දැනන්නේය. “උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක” (3:13). ඒ සියල්ල තුළින් යෙරෙමියා දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන පරම විශ්වාසය ප්‍රකාශ කළේය : “උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතී. ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ” (22-23 පද).

නත්තල් පසුවීත් මම ගස තිබෙන්නට හැරීමි. මාගේ උදෑසන යාච්ඤාව නොනැවැත්වීමි. අවසානයේ පාස්කු සති අන්තයේදී අපට දියණියක් ලැබුණි. දෙවියන්වහන්සේ සෑමවිටම විශ්වාසවන්තය. අපගේ වෙලාවට හෝ අපගේ ආශාවන්ට අනුව නොවිය හැකිය.

මාගේ දරුවන් දැන් තිස් ගණන්වලය. නමුත් සෑම වසරකම මම කුඩා ගසක අනුරුවක් තබමි. ඒ මටත් අන් අයටත් දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන බලාපොරොත්තු තබා ගැනීමට සිහිපත් කරවීමටය.