උගන්ඩාවේ කම්පාලා නුවර හෝටලයකින් මා පිටත්වන විට මා පිළිගැනීමට පැමිණි සහෝදරිය මා දෙස බලා අමුතු සිනහවක් පෑවාය. “ඇයි මොකද්ද ප්‍රශ්නේ” කියා මම ඇසුවෙමි. “ඔබ කොන්ඩෙ පිරුවාද?” ඇය සිනහසී ඇසුවාය. ඇත්තටම කොණ්ඩය පීරීමට මට අමතක වූ හෙයින් දැන් සිනහසීම මගේ වාරය විය. මම හෝටලයේ කැඩපතෙන් මගේ ප්‍රතිබිම්බය දෙස බැලුවෙමි. මා දුටු දේ ගැන හරියාකාරව බැලීමට මට නොහැකි වූයේ ඇයි?.

ප්‍රායෝගික උදාහරණයක් යොදා ගනිමින් යාකොබ් අපගේ බයිබල් අධ්‍යයනය වඩා ප්‍රයෝජනවත් කර ගන්නා පිණිස ප්‍රමිතියක් දෙයි. අප කැඩපත දෙස බලන්නේ යමක් නිවැරදි කර ගත යුතුදැයි බැලීමටය. කොණ්ඩය පීරා ඇද්ද? මුහුණ සෝදා ඇද්ද? කමිසය හරියට පැළඳ ගෙන සිටීද? යනාදිය බැලීමටය. කැඩපතක් මෙන් බයිබලය අපගේ චරිතය, ආකල්ප, සිතුවිලි සහ හැසිරීම පරීක්‍ෂා කිරීමට උපකාරී වන්නේය (යාකොබ් 1:23-24). එය දෙවියන්වහන්සේ අපට දී ඇති එළිදරව්ව අනුව අපගේ ජීවිත නිවැරදි කර ගැනීමට අපට උදව් වේ. අපි අපගේ දිව් තදින් ආරක්‍ෂා කර ගමු (26 පදය). එසේම “මව්පියන් නැත්තන් සහ වැන්දඹුවන්” (27 පදය) බලා ගන්නෙමු. “ලෝකයෙන් කිළුටු නොවීම” පිණිස අපි අප තුළ ඇති ශුද්ධාත්මයාණන්ට ඇහුම් කන් දෙමු.

අපට නිදහස දෙන “සම්පූර්ණ ව්‍යවස්ථාව” දෙස අප හොඳින් බලා එය අපගේ ජීවිතවලට අදාල කර ගත් විට අප කරන දේවලදී අපට ආශිර්වාදය ලැබේ (25 පදය). බයිබලය නැමැති කැඩපත දෙස අප බලන විට “අප තුළ රෝපණය කර ඇති වචනය” යටත් සිතින් පිළිගැනීමට අපට හැකිවේ (21 පදය).