අපගේ පිරිමි දරුවන් කුඩා කාලයේ පවුලේ මිතුරන් සමග එකතුවූ අවස්ථා ගැන අගනා මතකයන් මා තුළ ඇත. වැඩිහිටියෝ රාත්‍රිය එන තුරු එකිනෙකා සමග කථා කරමින් සිටින්නෙමු. අපගේ දරුවෝ සෙල්ලම් කර වෙහෙසවී පුටුවල සහ කවිච්චිවල වකුටුවී නිදා ගනිති.

නිවසට නැවත ඒමට කාලය පැමිණි විට මාගේ දරුවන් වඩා ගෙන ඔවුන්ව කාරයට ඔසවන් විත් පසුපස අසුනේ ඔවුන්ව තබන්නෙමි. නිවසට පැමිණි පසුව නැවත වඩා ගෙන ගොස් ඇඳන්වල තබමි. ඔවුන් සිප ශුභ රාත්‍රියක් පතමි. විදුලි පහන් නිවමි. පසුදින ඔවුහු තමන්ගේම නිවසේ පිබිදෙන්නෝය.

මෙය “යේසුස්වහන්සේ තුළ අප නිදන” රාත්‍රිය ගැන වටිනා රූපකයක් වී තිබේ (1 තෙසලෝනික 4:14). සැතපී සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙනසේක. අප ජීවත්වූ දිනවල සංකේතයක් වූ වෙහෙස සුව කරන නිවාසය එයයි.

මා පුදුමයට පත්කළ පරණ ගිවිසුමේ ඡේදයක් මට හමුවුනි. එය ද්වීථිය කථාවේ අවසන් කොටසේ ඇති ප්‍රකාශයකි. “ස්වාමින්වහන්සේ කී ලෙස මෝසෙස් මළේය” (34:5). හෙබ්‍රෙව් බසින් වචනාර්ථය “මෝසෙස් ස්වාමින්වහන්සේගේ මුඛය සමග මළේය” යන්නය. පුරාණ රබ්බිවරු එය “ස්වාමින්වහන්සේගේ සිප ගැනීම සමග මළේය” කියා පරිවර්තනය කළෝය.

අපගේ අවසන් රාත්‍රියේ දෙවියන්වහන්සේ අප සමීපයට අවුත් අප සිපගෙන ශුභ රාත්‍රියක් යයි පවසන බව කීම අපට සිතා ගැනීමට අසීරුය. නමුත් ජෝන් ඩන් නැමති කවියා කියන පරිදි “කුඩා නින්දක්ය. ඉන්පසු අපි සදාකාලයට පිබිදෙන්නෙමු”.