එම්.ආර්.අයි. යන්ත්‍රය ඇතුළත නිසලව වැතිරී යන්ත්‍රය කරකැවෙන විට මට අණ ලැබුණු ලෙසට හුස්ම තද කර ගෙන සිටියෙමි. එම්.ආර්.අයි. යන්ත්‍රය තුළින් ගිය බොහෝ දෙනෙක් ගැන මම දනිමි. නමුත් මට වැසුණු තැන්වල සිටීමේ බිය තිබේ. ඒ හෙයින් මාගේ අවධානය වෙනත් බොහෝ විශාල දෙයක් හෝ කෙනෙකු වෙත තබා ගෙන සිටීම ඉතා අවශ්‍ය වේ.

මාගේ මනසේ බයිබලයේ වැකිකඩක් ක්‍රියාත්මක වීමට පටන් ගත්තේය. “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය කෙතරම් දිගද, පළලද, උසද, ගැඹුරද” (එපීස 3:18) යන වදන් මාගේ සිතෙහි යන්ත්‍රයේ රිද්මය සමගම දෝංකාර දීමට පටන් ගත්තේය. පාවුල් එපීස සභාවට කළ යාච්ඤාවේදී ඔහු දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි පැති හතරක් විස්තර කළේය. ඒ උන්වහන්සේගේ ප්‍රේමයේ එන්න එන්න විශාල වන මායිම් විස්තර කිරීමටය.

එම්.ආර්.අයි. යන්ත්‍රයේ මා සිටි ඉරියව්ව මාගේ අවබෝධයට අලුත් ස්වරූපයක් එකතු කළේය. පළල: අඟල් හයක සීමාවක මාගේ දෑත් මාගේ ශරීරයට තදින් සවිකර තිබුණි. දිග : යන්ත‍්‍රයේ ඉදිරිය සහ පසුපස කුහර අතර මාගේ හිසේ සිට පාද දක්වාය. උස : අඟල් හයකි. යන්ත්‍රයේ සිවිලිමට මාගේ නාසයේ සිට උසය. ගැඹුර : මා යටින් පොළොවට සවිකර තිබූ මාව දරා ගෙන සිටි ආධාරකයයි. එම්.ආර්.අයි. යන්ත්‍රයේ මායිම් සතරෙන් සංකේතවත් කෙරුණේ මා වට කර මා ග්‍රහණය කර ගෙන ඇති දෙවියන්වහන්සේගේ අභිමුඛයයි. ඒ එතැන පමණක් නොව ජීවිතයේ සෑම අවස්ථාවකදීය.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප වට කර තිබේ. පළල : උන්වහන්සේ සියලු තැන්වල සිටින සියලු සෙනගට ළංවෙන පිණිස තම දෑත් දිගුකර සිටින සේක. දිග : උන්වහන්සේගේ ප්‍රේමය කිසි දිනෙක නොනවතී. උස : උන්වහන්සේ අප ඔසවන සේක. ගැඹුර : උන්වහන්සේ පහත්වී සියලු අවස්ථාවලදී අපව අල්ලා ගෙන සිටින සේක. උන්වහන්සේගෙන් අප වෙන් කිරීමට කිසි දෙයකට බැරිය (රෝම 8:38-39).