අපගේ ජීවිතයේ දිසාව තීරණය කරන්නේ කුමක්ද? එම ප්‍රශ්නයට සිතා ගත නොහැකි ස්ථානයකදී මට පිළිතුරක් ලැබුණි. ඒ මෝටර් සයිකල් පුහුණු පාඨමාලාවකදීය. මටත් මගේ මිතුරන් කිහිප දෙනෙකුටත් මෝටර් සයිකල් පදින්න අවශ්‍ය විය. ඒ හෙයින් අපි පංති වලට ගියෙමු. අපගේ පුහුණුවේ එක් කොටසක නම වූයේ ඉලක්කය තබා ගැනීමය.

අපගේ පුහුණුකරු මෙසේ කීවේය. “කවදා හෝ ඔබට බලාපෙරොත්තු නොවූ බාධාවක් එන්නේය. ඔබ ඒ දෙසම බලා ගන ගියොත් ඔබ ඒ තුළටම යනු ඇත. නමුත් ඔබ ඉහළ බලා යා යුතු තැනට ඔබගේ අවධානය යොමු කළ හොත් ඔබට එය මග හැරිය හැකිය”. ඔහු තව දුරටත් කීවේ “ඔබ යන්නේ ඔබ බලන දිසාවටය” කියාය.

සරල නමුත් එම ගැඹුරු ප්‍රතිපත්තිය අපගේ ආත්මික දේවලටද බලපාන්නේය. අප අපගේ අරගල වල “ඉලක්කයට සිරවූ” විට එනම් කරදර සහ අරගල දෙස අවධානය යොමු කරන විට අපගේ ජීවිත ඉබේම ඒවා වටා කේන්ද්‍රීය වන්නේය.

කෙසේ වෙතත් බයිබලය අප දිරිමත් කරන්නේ අපගේ ප්‍රශ්නවලට එහා සිටින අපට උපකාර කරන තැනැත්තාණන් දෙස බලන්නටය. ගීතාවලිය 121:1 පවසන්නේ “කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?” කියාය. ගීතිකාවේ පිළිතුර වන්නේ “මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය…. සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක” (2 සහ 8 පද) යනුවෙනි.

සමහර විට අපගේ බාධක ජයග්‍රහණය කළ නොහැකි යයි අපට සිතෙනු ඇත. නමුත් එම බාධාවලට අපගේ දැක්ම පරාජය කිරීමට නොදී අපගේ කරදරවලට එහායින් දෙවියන්වහන්සේ දෙස බලන ලෙසට උන්වහන්සේ අපට ආරාධනා කරන සේක.