යේසුස්වහන්සේ මුණ ගැසීමට පෙර මම බොහෝ සිත් රිදීම් වලට භාජන වී සිටි හෙයින් තවදුරටත් තුවාල වීමට භියෙන් සමීප සම්බන්ධතාවලට බිය වීමි. මම ඇලන්ව විවාහ කර ගන්නා තුරු මාගේ සමීපතම මිතුරිය වූයේ මාගේ මවය. වසර හතකට පසු දික්කසාද වීමට ආසන්නව සිටියදීම මම කුඩා සේවියර්ව සභා රැස්වීමකට ගෙන ගියෙමි. මම දොර අසළ වාඩිවී සිටියෙමි. විශ්වාස කිරීමට භිය වීමි. නමුත් උපකාරය අත්‍යවශ්‍යව තිබුණි.

ඇදහිලිවතුන් මට ළංවූහ. ඔවුහු අපගේ පවුලේ අය ගැන යාච්ඤා කළෝය. යාච්ඤාවෙන් සහ බයිබලය කියවීමෙන් දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවය ගොඩ නගන ආකාරය ඔවුහු මට කියා දුන්හ. කාලයක් ගත වූ පසුව ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමිකයන්ගේ ප්‍රේමය මාව වෙනස් කළේය.

එම සභා රැස්වීමෙන් වසර දෙකකට පසු මාත් ඇලනුත් සේවියරුත් බව්තිස්මය ඉල්ලා සිටියෙමු. ටික දවසකට පසු අපගේ සතිපතා සාකච්ඡාවකදී මාගේ මව කියා සිටියේ “ඔයා දැන් වෙනස්. යේසුස්වහන්සේ ගැන මට තව කියන්න” කියාය. මාස කිහිපයක් ගත විය. ඇයද යේසුස්වහන්සේ තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තාය.

යේසුස්වහන්සේ සාවුල්ගේ ජීවිතය වැනි ජීවිත වෙනස් කරන සේක. ඔහු ක‍්‍රිස්තුස්වහන්සේ මුණ ගැසනෙ තුරු අති බියකරු ලෙස සභාවට පීඩා කළේය (ක්‍රියා 9:1-5). යේසුස්වහන්සේ ගැන වඩ වඩා ඉගෙනීමට අන් අය ඔහුට උපකාර කළෝය (17-19 පද). ඔහුගේ විශාල වෙනස ආත්මයාණන්ගෙන් බල ගැන්වුණු ඔහුගේ ඉගැන්වීමට වැඩි විශාල දායකත්වයක් එකතු කළේය (20-22 පද).

යේසුස්වහන්සේ සමග අපගේ ප්‍රථම හමුව සාවුල්ගේ මෙන් නාට්‍යානුසාර විය යුතු නැත. අපගේ ජීවිත වෙනස එතරම් ඉක්මන් හෝ කැපී පෙනෙන හෝ එකක් නොවිය හැකිය. නමුත් කාලය අපව වෙනස් කරන ආකාරය සෙනග දකින විට උන්වහන්සේ අපට කළ දේවල් ගැන කීමට අපට අවස්ථාව ලැබේ.