අපගේ නිවස අසළ ඇති ව්‍යායාම් මධ්‍යස්ථානයට මා යන සෑම විටම මම ධෛර්යමත් වෙමි. කාර්ය බහුල එම ස්ථානයේදී තම භෞතික සුවය සහ ශක්තිය වැඩිකර ගැනීමට වෙර දරණ අයගෙන් මම වට වෙමි. එහි ඇති විශාල දැන්වීම් අපට මතක් කරන්නේ එකිනෙකා විනිශ්චය නොකරන ලෙසය. නමුත් අන් අයගේ උත්සාහයන් දිරිමත් කරන වචන සහ ක්‍රියාවලට සැම විටම එහි ඉඩ ඇති බවය.

ආත්මික ජීවිතයේ කාරණා තිබිය යුතු ආකාරය ගැන කෙතරම් ශ්‍රේෂ්ඨ චිත්‍රයක්ද? ඇදහිල්ලෙන් වැඩෙන පිණිස ආත්මිකව නියමිත හැඩය ලබා ගැනීමට උත්සාහ කරන අපි සමහර විට අන් අය යේසුස්වහන්සේ සමග යන ගමනේ වර්ධනය දැක අප මෙයට අයිති නැතැයි සිතමු.

පාවුල් අපට මෙම සෘජු කෙටි යෝජනාව දුන්නේය. “එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න” (1 තෙසලෝනික 5:11). ඔහු රෝමයේ ඇදහිලිවතුන්ට ලීවේ “අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා” (රෝම 15:2) කියාය. අපගේ පියාණෝ අපට ප්‍රේමයෙන් සහ අනුග්‍රහයෙන් සළකන බැවින් ධෛර්යය ගෙන දෙන වචන සහ ක්‍රියා වලින් අප එකිනෙකාට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය පෙන්වමු.

අප එකිනෙකා පිළිගන්නා විට (7 පදය) අපගේ ආත්මික වර්ධනය දෙවියන්වහන්සේට – ආත්මයාණන්ගේ ක්‍රියාවට භාර දෙමු. දිනපතා අප උන්වහන්සේ අනුගමනය කිරීමට උත්සාහ කරන විට තම ඇදහිල්ලේ වර්ධනය වීමට උත්සාය කරන අපගේ සහෝදර සහෝදරියන්ට ධෛර්යයක් ගෙන දෙන වටා පිටාවක් නිර්මාණය කරමු.