මාගේ මිත්‍ර ඩේවිඩ්ගේ භාර්යාව අමතකවීමේ රෝගයෙන් පෙළීමට පටන්ගත් විට ඔහුගේ ජීවිතය ඔහුට තිත්ත විය. ඇය ගැන සොයා බැලීමට ඔහුට ඉක්මණින් විශ්‍රාම ගැනීමට අවශ්‍ය විය. රෝගය වර්ධනය වන්න වන්න ඇයට වැඩි සැළකිල්ලක් දැක්වීමට අවශ්‍ය විය.

“මම දෙවියන්වහන්සේ සමග බොහෝ සෙයින් කෝප වුණෙමි” ඔහු මට කීවේය. “උන්වහන්සේ මගේ හදවත මට පෙන්වූ සේක. මාගේ විවාහයේදී මම කෙතරම් ආත්මාර්ථකාමී වූයේදැයි මම තේරුම් ගත්තෙමි”. ඔහු එසේ කියන විට ඔහුගේ ඇස්වලින් කඳුළු ගලා ගියේය. “ඇය දැන් වසර දහයක් රෝගීව සිටිනවා. නමුත් දැන් දෙවියන්වහන්සේ කාරණා වෙනස් විදිහට මට පෙන්වනවා. මා දැන් සෑම දෙයක්ම කරන්නේ ඇයට ඇති ප්‍රේමයෙන් මෙන්ම යේසුස්වහන්සේද වෙනුවෙනි. ඇයට සැළකීම මාගේ ජීවිතයේ විශාලම වරප්‍රසාදය ලෙස මම සළකමි”.

සමහර විට දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවලට පිළිතුර දෙන්නේ අපට අවශ්‍ය දේ දීමෙන් නොව අපට වෙනස් විමට අභියෝග දෙමිනි. දුෂ්ට නුවරක් වන නිනීවේ විනාශ නොකිරීමට දෙවියන්වහන්සේ ක්‍රියා නොකළ නිසා යෝනා කෝපවූ විට දෙවියන්වහන්සේ තද හිරු රෂ්මියෙන් ආරක්‍ෂා වීමට ඔහුගේ සෙවණට ලබු වැලක් නිර්මාණය කළ සේක (යෝනා 4:6). ඉන්පසු උන්වහන්සේ එය වියළීමට සැළැස්වූ සේක. යෝනා කෙඳිරූ විට දෙවියන්වහන්සේ පිළිතුරු දුන්නේ “ලබුවැල ගැන කෝප වීමට නුඹට යුතුද” (7-9 පද) කියාය. යෝනා සැලකුවේ තමන් ගැන පමණකි. කෝපවීමට යුතු බව යෝනා කීවේය. නමුත් දෙවියන්වහන්සේ ඔහුට අභියෝග කළේ අන් අය ගැන කල්පනා කර සානුකම්පාව දක්වන ලෙසටය.

ඉගෙන ගෙන වර්ධනය වීම සඳහා දෙවියන්වහන්සේ අප බලාපොරොත්තු නොවන ආකාරයට අපගේ යාච්ඤා භාවිතා කරන සේක. එනම් විවෘත හදවතකින් අප පිළිගත යුතු වෙනසකි. උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙනස් කිරීමට උන්වහන්සේට අවශ්‍ය වන්නේය.