සිව් වයසැති වෙනත් දරුවන් මෙන් රූබිද දිවීමටද ගායනා කිරීමටද නැටීමට සහ ක‍්‍රීඩා කිරීමටද ආශා කළාය. නමුත් ඇය තම දණිස්වල වේදනාවක් ගැන පැමිණිලි කරන්න පටන් ගත්තාය. රූබිගේ දෙමව්පියෝ ඇයව පරීක්‍ෂණවලට යොමු කළෝය. ප‍්‍රතිඵලය කම්පණය ගෙන දුන්නේය. පිළිකාවක් වැළඳී 4 වන මට්ටමට පැමිණ තිබුණි. එය නහර පිළිකාවකි. ඇයව ඉක්මණින්ම රෝහල් ගත කෙරුණි.

රූබිගේ රෝහල් කාලය දික්විය. නත්තලට එහි සිටීමට ඇයට සිදුවිය. එය නිවසින් පිට සිටීමට අසීරු කාලයකි. එක් සාත්තු සේවිකාවක් යෝජනා කළේ රූබිගේ කාමරය අසළ ලියුම් පෙට්ටියක් තැබීමටය. ඒ මිතුරන් සහ පවුලේ අයගේ යාච්ඤා සහ ධෛර්යය දෙන ලිපි දැමීමටය. එය මුහුණු පොතෙහිද ප‍්‍රචාරය විය. එවිට මිතුරෝද මීට පෙර නුදුටු අමුත්තෝද ලිපි එවීම ආරම්භ කළෝය. සියල්ලෝ මවිත වූහ. රූබිද සතුටු විය. ලිපි ලක්‍ෂයකට වඩා ලැබුණි. රූබි ටිකෙන් ටික දිරිමත් වූවාය. අවසානයේ ඇයට නිවසට යන්නට ලැබුණි.

පාවුල් කොලොස්සිවරුන්ට ලිවු ලිපියද එවැනිය (කොලොස්සි 1:2). පිටු පිරී තිබුණේ දිරියේ වචන, අඛණ්ඩ ඵලදායීතාවය, දැන ගැන්ම, දරාගැනීම සහ ඉවසිම ගැන බලාපොරොත්තු ඉස්මතු කරන දේ වලිනි (10-11 පද). කොලොස්සියේ විශ්වාසවන්තයින්ට එය කෙතරම් අනර්ඝ ඖෂධයක් වන්න ඇද්දැයි ඔබට සිතා ගත හැකිද? යමෙකු ඔවුන් වෙනුවෙන් අඛණ්ඩව යාච්ඤා කරන බව දැන ගැනීම ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලේ ඉදිරියට යාමට ඔවුන්ව ශක්තිමත් කළේය.

අපගේ දිරිමත් කිරීමේ වචන අවශ්‍යතාවයෙන් සිටින අයට විශාල උපකාරයක් වනු ඇත.