මාගේ ජීවිතය නාර්ය බහුලය. වෙහෙසකරය. මම එක් වැඩකින් තව වැඩකට දුවමි. නිවසට පැමිණෙන ගමන් දුරකථන ඇමතුම් දෙමින් මාගේ දීර්ඝ ලැයිස්තුවේ කළ යුතු දේවල් එකිනෙක බලන්නෙමි. එක් ඉරිදාවක අධික වෙහෙසින් අපගේ ගෙය පිටුපස ඉඩමේ තිබෙන පැද්දෙන බංකුව මත මම ඇද වැටුණෙමි. මාගේ දුරකථනය නිවස තුළය. මාගේ ස්වාමිපුරුෂයා සහ දරුවෝද නිවස තුළය. මුලදී මා විනාඩි දෙක තුනක් එසේ සිටීමට සැළසුම් කළෙමි. නමුත් කලබල නැති නිසලතාවයේ වැඩි වේලා සිටීමට මාව ආකර්ශණය කළ දේවල් මම දුටුවෙමි. බංකුවේ කිරි බිරිස් ශබ්දය මට යාන්තමින් ඇසේ. අසළ රෝස පඳුරේ මීමැස්සා චංචල වන හඬද ඉහළින් යන පක්‍ෂියෙකුගේ තටු ගැසීමද කණ වැටිණි. අහස තද නිල් පාටය. සුළඟින් වළාකුළු පාවේ.

දෙවියන්වහන්සේ කර ඇති දේවල් දැක මාගේ නෙතට කඳුළු ආවේය. මාගේ ඇස් සහ කන් වලට දැණුනු දේ භුක්ති විඳීමට මා නැවතුණ විට දෙවියන්වහන්සේගේ මැවීමේ බලය ගැන මම කෘතඥතාවෙයන් නමස්කාර කිරීම ඇරඹීමි. ගීතාවලිය 104 හි කර්තෘද දෙවියන්වහන්සේගේ හස්තයේ ක‍්‍රියා වලින් එලෙසම යටහත් වී “පොළොව ඔබගේ ක‍්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නේය” (13 පදය) කියා ලීවේය.

දිවයන ජීවිතයක් මධ්‍යයෙහි නිසල මොහොතක් දෙවියන්වහන්සේගේ නිර්මාණ බලය ගැන අපට මතක් කරන්නේය. උන්වහන්සේ තම බලයේ සහ මෘදුකමේ සාක්‍ෂිවලින් අප වට කරන සේක. උන්වහන්සේ උස් කඳුද කුරුල්ලන්ට අතුද සෑදු සේක. “ඔබ මේ සියල්ල ප‍්‍රඥාවෙන් සෑදු සේක” (24 පදය).