“ළඟදීම මම මේ සියල්ලම මුහුණු පොතේ දානවා. හොඳ ඒවා විතරක් නොවේ”.

මාගේ මිතුරිය වන සූ දිවා ආහාරය වේලාවේ ඇගේ ස්වාමිපුරුෂයාට කී කථාව මගේ මුවට විශාල සිනහවක් ගෙනාවේය. එසේම එය මට සිතන්නටද සැළැස්වීය. සමාජ මාධ්‍යය හොඳ දෙයක් විය හැකිය. වසර ගණනාවක් සැතපුම් ගණනාවක් ඈත සිටින මිතුරන් සමග සංනිවේදනයට සහ යාච්ඤාවට එය උපකාරී වේ. නමුත් අප ප‍්‍රවේසම් නොවුනොත් එය ජීවිතයට අතාත්වික තත්ත්වයක් ගෙන එන්නේය. එහි පළවෙන බොහෝමයක් “යහපත් දේවල” හොඳම කොටස්ය. අන් අයගේ ජීවිත වල ප‍්‍රශ්න නැති බව සිතීමට අප නොමග යා හැකිය. එසේම අපගේ ජීවිතවලට වැරදුනේ කෙසේදැයි අප කල්පනා කළ හැකිය.

අන් අය සමග අපව සංසන්දනය කිරීම දුකට අනිවාර්යය හේතුවකි. ගෝලයින් එකිනෙකා සමග සංසන්දනය කරගත් විට (ලූක් 9:46; 22:24) යේසුස්වහන්සේ ක්‍ෂණිකව එය අධෛර්යයට පත් කළ සේක. උන්වහන්සේ නැවත නැගිටීමට පසු ටික වේලාවකින් ඔහුගේ ඇදහිල්ල වෙනුවෙන් ඔහු වේදනා විඳීමට යන ආකාරය ගැන යේසුස්වහන්සේ පේත‍්‍රෑස්ට පැවසූ සේක. පේත‍්‍රෑස් එවිට යොහන් දෙසට හැරී “ඔහු ගැන කුමක්ද?” කියා ඇසුවේය. “යේසුස්වහන්සේද : මා එන තුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකද? නුඹ මා අනුව එන්න” කියා කී සේක (යෙහාන් 21:21-22).

අයහපත් සංසන්දනයන්ට හොඳම ප‍්‍රතිකර්මය යේසුස්වහන්සේ පේත‍්‍රෑස්ට පෙන්වා දුන් සේක. අපගේ මනස දෙවියන්වහන්සේ සහ උන්වහන්සේ අපට කර ඇති සියල්ල වෙතට අවධානය යොමු කළ විට ආත්මාර්ථකාමී අදහස් සෙමෙන් සෙමෙන් නැතිවී යනු ඇත. ලෝකයේ තරඟකාරී අසහනය සහ ආතතිය වෙනුවට උන්වහන්සේ තමන්වහන්සේගේ අභිමුඛය සහ සාමය අපට දෙන සේක. උන්වහන්සේ සමග කිසිවක් සංසන්දනය කිරීමට නොහැකිය.