යෙරුසලමට ආසන්න පළාත්වල එදින අඳුරු පාළු ස්වභාවයක් පිරී තිබුණි. යෙරුසලමේ පවුරු අසළ කන්දක පසුගිය වසර තුනෙහි සෙනග ආකර්ශණය කළ මිනිසෙකු රළු කුරුසියක වේදනාවෙන් සහ අවමානයෙන් එල්ලී සිටියේය. දුක්වන්නෝ දුකින් වැළපුණෝය. දිවා අහස් තලය තවදුරටත් හිරු එළියෙන් බැබළුනේ නැත. කුරුසියක දැඩිව දුක් විඳි මනුෂ්‍යයාගේ වේදනාව නිම විය. “තීන්දුවුණේය” කියා උන්වහන්සේ මොර ගැසූ සේක (යොහන් 19:30).

ඒ මොහොතෙහිම යෙරුසලමේ මාළිගාවෙන් තවත් හඬක් නික්මුණි. ඒ රළු රෙදි ඉරෙන ශබ්දයකි. හාස්කමකි. මනුෂ්‍ය ක‍්‍රියාකාරකමක් නැතිවම එය සිදුවුනි. පිටත මාලිගය අතිශුද්ධස්ථානයෙන් වෙන් කළ එම විශාල ගොරෝසු තිරය ඉහළ සිට පහළට ඉරී ගියේය (මතෙව් 27:51).

එම ඉරුණු තිරය කුරුසියේ සත්‍යතාවය පෙන්නුම් කළේය. දෙවියන්වහන්සේ වෙත යාමට අලුත් මාර්ගයක් විවෘත විය. කුරුසියේ සිටි මිනිසා වන යේසුස්වහන්සේ අවසන් පූජාවේදී තමන්ගේ රුධිරය වගුරුවා තිබුණි. ඒ එකම සත්‍ය ප‍්‍රමාණවත් පූජාවය (හෙබ්‍රෙව් 10:10). එය උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියල්ලන්ට සමාව භුක්ති විඳ දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයකට ඇතුල්වන්නට ඉඩ ලබා දෙන්නේය (රෝම 5:6-11).

එම මුල් සිකුරාදා අන්ධකාරය මධ්‍යයේ ලැබිය හැකි හොඳම ප‍්‍රවෘත්තිය අපට ලැබුණි. අපගේ පාපයෙන් මිදී දෙවියන්වහන්සේ සමග සදාකාලයට සහභාගීකමක් ලැබීමට යේසුස්වහන්සේ අපට මාර්ගයක් විවෘත කළ සේක (හෙබ්‍රෙව් 10:19-22). ඉරුණු තිරයේ පණිවුඩයට දෙවියන්වහන්සේට තුති පුදමු.