මාගේ මිතුරාගේ පියාට භයානක රෝග තීරණයක් ලැබුණි. ඒ පිළිකාවය. නමුත් රසායනික ප‍්‍රතිකර්ම ක‍්‍රියාවලියේදී ඔහු යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකු විය. රෝගය අකර්මණ්‍ය තත්ත්වයට පත්වුනි. මාස 18ක් ඔහු පිළිිකාවෙන් තොරව ජීවත් විය. නමුත් නැවත එය පැමිණියේය. ඒ පෙරටත් වඩා දරුණු ලෙසය. ඔහු සහ ඔහුගේ භාර්යයාව නැවත පැමිණි පිළිකාව පිළිබඳ යතාර්ථයට මුහුණ දුන්නේ ප‍්‍රශ්න සමගය. නමුත් දෙවියන්වහන්සේ පෙර අවස්ථාවේදී ඔවුන්ව දරාගත් හෙයින් ඔවුන් මෙම අවස්ථාවට මුහුණ දුන්නේ උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්ය.

අප සෝදිසි තුළින් යන්නේ ඇයිදැයි අපට සැම විට තේරුම් නොයනු ඇත. යෝබ්ගේ ජීවිතයේ සිදුවුයේ එයයි. විස්තර කළ නොහැකි අති බිහිසුණු වේදනා සහ පාඩුවලට මුහුණ දීමට ඔහුට සිදුවිය. එහෙත් ඔහුගේ ප‍්‍රශ්න මධ්‍යයෙහි යෝබ් 12 හි ඔහු පවසන්නේ දෙවියන්වහන්සේ බලවත් බවයි. “උන්වහන්සේ කඩාදැමුවාම ගොඩනඟනු නොලබන්නේය”. “බලයත් සමර්ථකමත් තිබෙන්නේ උන්වහන්සේ වෙතය” (16 පදය). “උන්වහන්සේ ජාතීන් වර්ධනය කරනසේක, ඔවුන් නැතිකරනසේක” (23 පදය). මේ දීර්ඝ ලැයිස්තුව තුළ යෝබ් දෙවියන්වහන්සේගේ පරමාර්ථ හෝ උන්වහන්සේ වේදනාවට ඉඩ දෙන හේතුව හෝ ප‍්‍රකාශ නොකරන්නේය. නමුත් මේ සියල්ල මධ්‍යයෙහි ඔහු ස්ථිරව පවසන්නේ “ප්‍රඥාවත් බලයත් ඇත්තේ උන්වහන්සේ වෙතය; මන්ත්‍රණය හා නුවණ ඇත්තේ උන්වහන්සේටය” (13 පදය) කියාය.

අපගේ ජීවිතයේ සමහර අරගල වලට දෙවියන්වහන්සේ ඉඩ දෙන්නේ ඇයිද කියා අපට තේරෙන්නේ නැත. නමුත් මාගේ මිත‍්‍රයාගේ දෙමව්පියන් මෙන් අපගේ විශ්වාසය අපට උන්වහන්සේ මත තැබිය හැකිය. ස්වාමින්වහන්සේ අපට පේ‍්‍රම කරන සේක. අපව උන්වහන්සේගේ හස්තයේ තබා ගෙන සිටින සේක (10 පදය, 1 පේත‍්‍රෑස් 5:7). ප‍්‍රඥව, බලය සහ තේරුම්ගැනීම උන්වහන්සේගේය.