එදිනද වෙන දිනයන් මෙන් ආරම්භ විය. නමුත් එය අවසන් වූයේ විශාල ඛේදවාචකයකිනි. එස්තර්ව (එය ඇයගේ නියම නම නොවේ) සහ තවත් ස්ත්‍රීන් සිය ගණනක්ව ආගමික ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඔවුන්ගේ නේවාසිකාගාරයෙන් පැහැර ගන්නා ලදී. මාසයකට පසු එස්තර් හැර අනිත් සියලු දෙනා නිදහස් වුනි. ඊට හේතුව ඇය ක්‍රිස්තුස්වහන්සේ අත් හැරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසාය. තම ඇදහිල්ල නිසා පීඩාවට පත්වූ ඇය සහ අනෙක් අය ගැන කියවද්දී මාගේ සහ මාගේ මිතුරියගේ සිත් සසල විය. අපට යමක් කිරීමට සිතුණි. නමුත් කරන්නේ කුමක්ද?

කොරින්ති සභාවට ලියන විට අපෝස්තලු පාවුල් ඔවුන් සුළු ආසියාවේ වින්දාවු කරදර ගැන ලිවීය. පීඩාව එතරම් බලවත් විය. ඔහුටත් ඔහුගේ මිතුරන්ටත් “ජීවිතය ගැන බලාපොරොත්තුවක් නැති” (2 කොරින්ති 1:8) විය. කෙසේ වෙතත් පාවුල්ට ඇදහිලිවතුන්ගේ යාච්ඤාවලින් උපකාර ලැබුණි (11 පදය). කොරින්ති සභාව පාවුල්ගෙන් බොහෝ ඈත්ව තිබුණද ඔවුන්ගේ යාච්ඤා වැදගත් විය. දෙවියන්වහන්සේ ඔවුන්ට සවන් දුන් සේක. මෙහි විශ්මිත අභිරහසක් තිබේ. සර්ව බලධාරී තැනන්වහන්සේ උන්වහන්සේගේ අරමුණු ඉෂ්ට කිරීමට අපගේ යාච්ඤා භාවිතා කරන සේක. එය කෙතරම් වරප්‍රසාදයක්ද!

අදද ක්‍රිස්තුස්වහන්සේ තුළ තම ඇදහිල්ල නිසා දුක් විඳින සහෝදර සහෝදරියන් අපට අඛණ්ඩව මතක් කළ හැකිය. අපට කළ හැකි දෙයක් තිබේ. කොන්වී, පීඩා ලබමින්, පහර කමින්, වධ විඳිමින් සමහර විට ක්‍රිස්තුස්වහන්සේ විශ්වාස කිරීම නිසා මැරුම් කන අය ගැන අපට යාච්ඤා කළ හැකිවේ. ඔවුහු දෙවියන්වහන්සේගේ සහනය සහ දිරිය අත් දකින පිණිසත් යේසුස්වහන්සේ තුළ ස්ථිරව සිටිද්දී බලාපොරොත්තුවෙන් ශක්තිමත් වන පිණිසත් අපි යාච්ඤා කරමු.