මාගේ උපාධි අපේක්‍ෂක සහ උපාධි වැඩ සටහන් අතරතුර නිවාඩු කාලයේදී මාගේ කණස්සල්ල වැඩි විය. සෑම දෙයක්ම හොඳීන් සැළසුම් කිරීමට මම කැමත්තෙමි. රැකියාව අත්හැර වෙන ප්‍රාන්තයක උපාධියක් සඳහා ඇතුළත් වීම මට අපහසුවක් විය. කෙසේ වෙතත් මා එහි යෑමට පෙර නිවසේ සිට රැකියාව කිරීමට මට අවස්ථාවක් ලැබුණි. මා එය පිළිගත්තෙමි. දෙවියන්වහන්සේ මා රැක බලා ගන්නා බවට මට සමාදානයක් ඇති විය.

දෙවියන්වහන්සේ සැපයූ සේක. නමුත් මාගේ වේලාවට නොවේ. උන්වහන්සේගේ වෙලාවටය. ආබ්‍රහම් තම පුත්‍ර ඊසාක්ගේ කාරණාවේදී ඊට වඩා බොහෝ අසීරු තත්ත්වයකට පත් විය. ඔහුගේ පුත්‍රයා ගෙන ගොස් කන්දකදී ඔහුව පූජා කිරීමට ඔහුට අණ ලැබුණි (උත්පත්ති 22:1-2). කිසිදු පැකිලීමක් නොමැතිව ආබ්‍රහම් ඊසාක්ව රැගෙන එහි ගියේය. මේ දින තුනක ගමනේදී තම අදහස වෙනස් කිරීමට ආබ්‍රහම්ට කාලය ඇති තරම් තිබුණි. නමුත් ඔහු එසේ නොකළේය (3-4 පද).

ඊසාක් තම පියාගෙන් ප්‍රශ්න කළ විට ආබ්‍රහම් පිළිතුරු දුන්නේ “දෙවියන්වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුවා සපයා ගන්නවා ඇත” (8 පදය) කියාය. ඊසාක්ට ගසන ගසන ගැටයක් පාසා පිහිය ඔසවන අඟලක් පාසා ආබ්‍රහම්ගේ කණස්සල්ල වැඩිවූවා දැයි මම කල්පනා කරමි (9-10 පද). දේවදුතයා ඔහුව නැවැත්වූ විට ඔහුට කෙතරම් සහනයක් දැනෙන්න ඇද්ද? (11-12 පද). දෙවියන්වහන්සේ පුජාවක් සපයා දුන් සේක. ඒ පඳුරක පැටලී සිටි බැටළුවෙකි (13 පදය). දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්‍ෂා කළ සේක. ඔහු විශ්වාසවන්ත බව ඔප්පු විය. හරි වෙලාවේ හරි තත්පරයේ දෙවියන්වහන්සේ සැපයූ සේක (14 පදය).