“සැම තොටුපළක්ම ගලින් නිමවූ ආශාවකි!” ප්‍රනාන්දු පෙසෝආගේ පෘතුගීසි කාව්‍යයක් වන “ඔඬේ මාරිටීමා” හි එසේ සඳහන් වේ. පෙසෝආගේ තොටුපොළ නියෝජනය කරන්නේ නැවක් අපෙන් ඈත්වන විට අපට හැඟෙන හැඟීම්ය. නැව පිටත්වේ. නමුත් තොටුපළ නවතින්නේ නොනවතින බලාපොරොත්තු, සිහින, වෙන්වීම්, ආශාවන් යනාදිය පිළිබඳ ස්මාරකයක් ලෙසිනි. අපි නැතිවූ දේ ගැන සහ ළංවන්නට බැරි දේ ගැන දුක් වන්නෙමු.

සවුදාදේ යන පෘතුගිසි වචනය “ආශාව” ලෙස පරිවර්තනය වී තිබේ. එහි අර්ථය සාංකාව සහිත බලා සිටීමකි. ගැඹුරු වේදනාවකි. එය විස්තර කළ නොහැකිය. කවියා විස්තර කළ නොහැකි දෙය විස්තර කරයි.

නෙබෝ කන්ද මෝසෙස්ගේ “ගලින් නිමවූ ආශාව” යයි අපට කිව හැකිය. නෙබෝ කන්දේ සිට ඔහුට කවදාවත් යාමට නොහැකිවූ පොරොන්දු දේශය දෙස ඔහු බැලීය. දෙවියන්වහන්සේ මෝසෙස්ට කී වචන නම් “ඒක නුඹේ ඇස් වලින් දකින්ට සැළැස්වීමි. එහෙත් නුඹ එහි නොයන්නෙහිය” (ද්වීථිය කථාව 34:4) කියාය. එය දරුණු වචන ලෙස පෙනේ. අප දකින්නේ එය පමණක් නම් සිදුවන දෙයෙහි හදවත අපට මග හැරෙනු ඇත. මෝසෙස්ට දෙවියන්වහන්සේ විශාල සහනයක් ඇතිව කථා කළ සේක. “නුඹේ වංශයට දෙන්නෙමියි කියා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළ දේශය මේය” (4 පදය). ඉක්මණින්ම නෙබෝ අත්හැර ඊට වඩා බොහෝ යහපත් දේශයකට ඔහු යනු ඇත (5 පදය).

බොහෝ විට ජීවිතය අපව තොටුපළේ සිටුවා තබන්නේය. ප්‍රේමණියයෝ වෙන් වන්නෝය. බලාපොරොත්තු බොඳවන්නේය. සිහින මියැදෙන්නේය. ඒ සියල්ල මධ්‍යයෙහි අපට ඒදන්හි දෝංකාරය සහ ස්වර්ගය ගැන ඇඟවීම්ද හඟවන්නේය. අපගේ ආශාවන් අපව උන්වහන්සේ වෙතට යොමු කරන්නේය. අපි ආශාකරන දෙය පරිපූර්ණ කරන්නේ උන්වහන්සේය.