හය මාසයක් තුළ ජෙරල්ඩ්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා හැලුණි. ආර්ථික ව්‍යසනයකින් ඔහුගේ ව්‍යාපාරය හා වස්තුව විනාශ විය. ඛේදනීය අනතුරකින් ඔහුගේ පුත්‍රයා මිය ගියේය. කම්පනය නිසා ඔහුගේ මව හෘද රෝගයකින් මිය ගියාය. ඔහුගේ භාර්යාව මානසික අවපාතයකට වැටුණි. ඔහුගේ තරුණ දියණියන් දෙදෙනාවම සැනසිය නොහැකි තත්ත්වයට පත්වුණි. ඔහුට කිව හැකිවූ එකම දෙය නම් “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” (ගීතාවලිය 22:1) යන ගීතිකාකරුගේ වචන දෝංකාර දීම පමණි.

ජෙරල්ඩ්ට තිබූ එකම බලාපොරොත්තුව නම් යේසුස්වහන්සේව නැවත උත්ථාන කළාවූ දෙවියන්වහන්සේ ඔහුවද ඔහුගේ පවුලේ අයවද වේදනාවෙන් සදාකාල ප්‍රීතියකට ගෙන ඒමේ පොරොන්දුවයි. ඔහු උපකාරය ඉල්ලා කරන දැඩි කන්නලව්වට උන්වහන්සේ පිළිතුරු දෙනු ඇතැයි යන බලාපොරොත්තුවයි. ගීතිකාකරු දාවිත් මෙන් ස්වකීය පීඩාවන් මධ්‍යයෙහි දෙවියන්වහන්සේ විශ්වාස කිරීමට ඔහු අධිෂ්ඨාන කර ගත්තේය. දෙවියන්වහන්සේ ඔවුන් මුදා ගළවනු ඇතැයි යන බලාපොරොත්තුවෙහි ඔහු එල්ලී සිටියේය (4-5 පද).

එම බලාපොරොත්තුව ජෙරල්ඩ්ව ජීවත් කළේය. පසුගිය වසර ගණනාව පුරා කොහාමද කියා ඔහුගෙන් ඇසු විට ඔහු පැවසුවේ “මම දෙවියන්වහන්සේව විශ්වාස කරමි” කියාය.

වසර ගණනාවක් ගෙවීමට අවශ්‍ය සහනයද ශක්තියද ධෛර්යයද ලබා දෙමින් දෙවියන්වහන්සේ ඔහුගේ එම විශ්වාසයට ගරු කළ සේක. ඔහුගේ පවුල ඛේදවාචකයෙන් ටිකෙන් ටික ජය ගත්තේය. ජෙරල්ඩ් තම පළමු මුණුපුරාගේ උපත මෑතකදී සැමරුවේය. ඔහුගේ මොර ගැසීම දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන සාක්‍ෂියකි. “මා අත්හැරියේ ඇයි කියා දැන් මම අසන්නේ නැත. දෙවියන්වහන්සේ මට ආශිර්වාද කර ඇත”.

කිසිවක් නැතැයි සිතෙන විට තවමත් බලාපොරොත්තුව ඉතිරිව ඇත.