ජැමෙයිකාවේ මොන්ටේගෝ වරායෙහි ශාන්ත ජේම්ස් ගිලන් ගෙය වෙත යාමට මම උත්සුක වූයෙමි. ඒ රෙන්ඩල්ව බැලීමටය. ඔහු තමාට යේසුස්වහන්සේ ප්‍රේම කරන බව දැන ගත්තේ වසර දෙකකට පෙරය. සෑම වසන්ත කාලයකම මා සමග සංචාරය කරන යෞවනියක් වන ඊවී ඔහු සමග බයිබලය කියවා ඔහුට ශුභාරංචිය ප්‍රකාශ කර තිබුණි. ඔහු පුද්ගලිකව යේසුස්වහන්සේ තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තේය.

මා පුරුෂ අංශයට ඇතුල් වී රෙන්ඩල් සිටි ඇඳ දෙස බැලීමි. එම ඇඳ හිස්ව තිබුණි. ඉන්පසු සාත්තු සේවිකාවන්ගේ කාමරයට ගියෙමි. මා අසන්නට අකමැති දෙයක් ඔව්හු මට කීවෝය. අප පැමිණිමට දින පහකට පෙර ඔහු ස්වර්ගස්ථව තිබුණි. කඳුළින් යුක්තව මම ඊවිට විද්‍යයුත් පණිවුඩයක් යැවීමි. ඇයගේ ප්‍රතිචාරය ඉතා සරළ විය. “රෙන්ඩල් යේසුස්වහන්සේ සමග සතුටින්”. පසුව ඇය කීවේ “අපි ඒ වෙලාවේ ඔහුට යේසුස්වහන්සේ ගැන කී එක හොඳයි” කියාය.

ඇයගේ වචන මට මතක් කළේ ක්‍රිස්තුස්වහන්සේ ගැන අප තුළ ඇති ප්‍රේමය පිළිබඳව ප්‍රේමයෙන් බෙදා ගැනීමට සුදානම්ව සිටීමේ වැදගත්කමය. අප සමග සැම විට සිටින තැනන්වහන්සේ ගැන ශුභාරංචිය බෙදා ගැනීම පහසු නැත (මතෙව් 28:20). නමුත් අපටත් රෙන්ඩල් වැනි අයටත් එය කරන වෙනස දකින විට අප යන යන ස්ථානවල “ගෝලයන් බිහිකිරීමට” අප වඩ වඩා සුදානම්වීමට එය එක හේතුවක් වේ (19 පදය).

එම හිස් ඇඳ දැකීමෙන් මා තුළ ඇතිවූ කණගාටුව මට කිසිදා අමතක නොවේ. එසේම රෙන්ඩලගේ ජීවිතයේ සදාකාලික වෙනසක් කළ එක් විශ්වාසවන්ත යෞවනියක්ද අමතක නොවේ.