ඇබී උසස් විදුහලේ සිටින කාලයේ ඇයටත් ඇයගේ මවටත් ගුවන් අනතුරකින් දැඩි ලෙස තුවාල වූ තරුණයෙකු ගැන ප්‍රවෘත්තියක් අසන්නට ලැබුණි. ඔහුගේ පියාද කුඩම්මාද ඉන් මිය ගොස් තිබුණි. ඔව්හු එම පුද්ගලයා දැන නොසිටියද “අපි ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් යාච්ඤා කළ යුතු වෙමු” යයි ඇබීගේ මව කීවාය. ඔව්හු එසේ කළහ.

වසර කිහිපයකට පසු ඇබී විශ්ව විද්‍යාලයේ එක් පංතියකට ඇතුල් වුනි. එක් සිසුවෙක් ඔහු ළඟ ආසනයක් ඇයට දුන්නේය. ඔහු ඔස්ටින් හැච්ය. ඇබී යාච්ඤා කළ ගුවන් යානා අනතුරට මුහුණ දුන් තරුණයාය. ඉක්මණින් ඔව්හු මිතුරු වූහ. 2018 දී ඔව්හු විවාහ වූහ.

“මගේ අනාගත ස්වාමිපුරුෂයාට යාච්ඤා කළ බව සිතීම විශ්මය ජනකයයි” ඔවුන් දෙදෙනා විවාහ වීමට පෙර වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇබී ප්‍රකාශ කළාය. අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමට කාලය නොගෙන අපගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට සහ සමීපතයන්ගේ අවශ්‍යතා වලට අපගේ යාච්ඤා සීමා කිරීම පහසුය. කෙසේ වෙතත් පාවුල් කිතුණුවන්ට ලියමින් කීවේ “සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න” (එපීස 6:18) කියාය. එසේම 1 තිමෝති 2:1 හි අපට පවසන්නේ බලයේ සිටින අයද ඇතුළත්ව “සියලු මනුෂ්‍යයින්” උදෙසා යාච්ඤා කරන්න කියාය.

අපි අන් අය ගැන යාච්ඤා කරමු. ඒ අප නොදන්නා අය ගැනත්ය. ඒ එකිනෙකාගේ බර ඉසිලීමේ එක් ක්‍රමයකි (ගලාති 6:2).