කාටූන් පොතෙහි වීරයා එදා මෙන් අදත් ජනප්‍රියය. 2017 දී පමණක් සුපිරිවීර චිත්‍රපටි ඩොලර් බිලියන හතරක් තම වාර්තාගත ප්‍රදර්ශන වලින් සොයා ගත්තෝය. එවැනි වීර ක්‍රියා වලට සෙනග ඇදී යන්නේ ඇයි?

එක් අතකින් එවැනි කථා දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කථාවලට සමාන නිසා විය හැකිය. සෑම විටම වීරයෙක්ද දුෂ්ටයෙක්ද ගැළවීමට අවශ්‍ය සෙනගක්ද සිටී. ඒ අතර ඇති තරම් ත්‍රාස ක්‍රියාද ඇත්තේය.

මෙම කථාවෙහි විශාලතම දුෂ්ටයා අපගේ ආත්ම වල සතුරා වන සාතන්ය. නමුත් කුඩා කුඩා සතුරෝ බොහෝය. දානියෙල්ගේ පොතෙහි දුෂ්ඨයා නෙබුකද්නෙශර්ය. එකල තිබු ලෝකයෙන් වැඩි හරියක් පාලනය කළ රජු ඔහුය. තම විශාල රූපයට වන්දනා නොකරන ඕනෑම කෙනෙකුව මැරීමට ඔහු තීරණය කළේය (දානියෙල් 3:1-6). ධෛර්යවන්ත යුදෙව් නිලධාරීන් තිදෙනෙකු එය ප්‍රතික්‍ෂේප කළ විට (12-18 පද) දෙවියන්වහන්සේ ඉතා ආශ්චර්යමත් ලෙස දැවෙන ගිනි උදුනකින් ඔවුන් බේරාගත් සේක (24-27 පද).

නිමේෂයකින් දුෂ්ටයාගේ සිත වෙනස්වීම ආරම්භ විය. මේ ප්‍රාසාංගික සිද්ධියට ප්‍රතිචාර ලෙස නෙබුකද්නෙශර් කීවේ “ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා” (28 පදය) කියාය.

ඉන්පසු ඔහු දෙවියන්වහන්සේට විරුද්ධ වන ඕනෑම කෙනෙකු මැරීමට තර්ජනය කළේය (29 පදය). දෙවියන්වහන්සේට ඔහුගේ උපකාරය අවශ්‍ය නැති බව ඔහුට තේරුණේ නැත. නෙබුකද්නෙශර් 4 වන පරිච්ඡේදයේදී දෙවියන්වහන්සේ ගැන තවදුරටත් ඉගෙන ගත්තේය. නමුත් එය වෙනම කථාන්දරයකි.

අප නෙබුකද්නෙශර් තුළ දකින්නේ දුෂ්ඨයෙකු පමණක් නොවේ. ඔහු ආත්මික ගමනක යෙදී සිටින්නෙකි. දෙවියන්වහන්සේගේ මිදීමේ කථාවේ අපගේ වීරයා යේසුස්වහන්සේය. ගැළවීම අවශ්‍ය සියල්ලන් වෙත එනම් අප අතර සිටි දුෂ්ඨයන්ද ඇතුලුව උන්වහන්සේ ගළවන සේක.