1497 හි පෙබරවාරී මාසයේ ගිරෝලාමා සැවනොරෝලා නැමති තාපසයා ගින්නක් ඇති කළේය. ඒ සඳහා ඔහු සහ ඔහුගේ සහායකයෝ මනුෂ්‍යයන්ට පව් කිරීමට උපකාරවන සහ ආගමික යුතුකම් ඉෂ්ට කිරීමට බාධා කරන බොහෝ භාණ්ඩ මාස ගණනක් එකතු කළෝය. අනර්ඝ චිත්‍ර, සුවඳ විලවුන්, සංගීත භාණ්ඩ සහ ඇඳුම් ඊට අයත් විය. නියමිත දවසේ දහස් ගණන් නිෂ්ඵල ද්‍රව්‍ය ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයෙහි පිට්ටනියක එකතු කර ගිනි තබන ලදී. එය නිෂ්ඵල ද්‍රව්‍යයන්ගේ ගින්න ලෙස ප්‍රසිද්ධ වී තිබේ.

සැවනොරෝලාට තම අදහස් ලැබුණේ කන්ද උඩ දේශනාවේ අප මවිත කරවන ප්‍රකාශයන්ගෙන් විය හැකිය. “නුඹේ දකුණු ඇස නුඹට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න…. නුඹේ දකුණු අත නුඹට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න” (මතෙව් 5:29-30) යයි යේසුස්වහන්සේ කී සේක. කෙසේ වෙතත් අපි යේසුස්වහන්සේගේ වචන වචනාර්ථයෙන් ගතහොත් පණිවුඩය අපට මග හැරේ. මුළු දේශනාවේම පාඩම මතුපිටට එහා යාමය. එනම් අපගේ පිටස්තර බාධා සහ පරීක්‍ෂාවලට දොස් කියමින් නොසිට අපගේ හදවතේ තත්ත්වය දෙස අවධානය යොමු කිරීමය.

නිෂ්ඵල දේවල්වල ගින්න චිත්‍ර යනාදිය විනාශ කර විශාල ප්‍රදර්ශනයක් ඉදිරිපත් කළේය. නමුත් එම ක්‍රියාවලියේදී එයට සහභාගී වූ අයගේ සිත් වෙනස් වූ බව කිව නොහැකිය. සිතක් වෙනස් කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණී. “දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව” (ගීතාවලිය 51:10) කියා ගීතිකාකරු කීවේ එහෙයිනි.