“එපා” හෝ “දැන්ම නොවේ” කී විට දැරීම අසීරු විය හැකිය. විශේෂයෙන් අන් අයට සේවය කිරීමට දෙවියන්වහන්සේ දොරක් විවර කර ඇතැයි අපට සිතෙන විටය. මාගේ සේවයේ මුල් කාලයෙහි අවස්ථාවන් දෙකක් මා වෙතට පැමිණියේය. සභාවේ අවශ්‍යතාවලට මාගේ දීමනා සහ නිපුණත්වයන් සරිලන බව මම සිතුවෙමි. නමුත් දොරවල් දෙකම කෙමෙන් වැසිණි. මේ කලකිරීම් දෙකට පසු තවත් අවස්ථාවක් පැමිණියේය. මාව තෝරා ගැණුනි. ඒ සේවයේ කැඳවීම සමග ජීවිතවලට අත ගැසෙන සභාපාලක ශ්‍රමයේ වසර දහතුනක් මම ගත කළෙමි.

ක්‍රියා 16 හි දෙවරක් පාවුල් සහ කණ්ඩායම දෙවියන්වහන්සේ විසින් වෙනත් අතකට හරවනු ලැබීය. පළමුව “ඔව්හු ආසියාවේදී වචනය කියාදෙන්ට ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරනු ලැබීය” (6 පදය). ඉන්පසු “ඔව්හු මිසිය ඉදිරියට ඇවිත් බිතිනියට යන්ට උත්සාහ කළෝය. නමුත් යේසුස්වහන්සේගේ ශුද්ධාත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන් සේක” (7 පදය). උන්වහන්සේගේ ගෝලයන්ට සහ සේවයට සරිලන ලෙසට ඔවුන් නොදැනුවත්ව දෙවියන්වහන්සේට වෙනත් සැළසුම් තිබුණි. උන්වහන්සේ පෙර සැළසුමට එපා කී නිසා උන්වහන්සේ විසින් මග පෙන්වනු ලැබීමටද උන්වහන්සේට සවන් දීමටද ඔවුන්ට හැකියාව ලැබුණි (9-10 පද).

මුලදී වේදනාකාරී දෙයක් යයි සිතූ කරුණක් ගැන කණගාටු නොසිතුවේ කව්ද? යම් රැකියාවක් නොලැබුණු විට, සේවයේ අවස්ථාවක් ක්‍රියාත්මක නොවුණු විට, වෙනත් ස්ථානයකට යාමේ බලාපොරොත්තු සුන්වූ විට අපට සිත් රිදුම් ඇතිවන්න ඇත. එම කාරණා නිසා තාවකාලිකව බරක් සේ දැණුනද එවැනි නැවත හැරීම් දෙවියන්වහන්සේගෙන් බව කාලය එළිදරව් කරනු ඇත. ස්වාමින්වහන්සේ දයාවෙන් අප සිටිය යුතු ස්ථානයට යාමට ඒවා භාවිතා කරන සේක. අප ඒ ගැන කෘතඥ වෙමු.