විචිත්‍ර චිත්‍රවලින් නිමකර ඇති ළමා බයිබලය හරවා මාගේ මුණුපුරාට මම කියවීමි. පදයෙන් පදය දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ සැපයීම දිග හැරෙන විට අපි උද්දාමයට පත්වීමු. කියවන පිටුවට අත තබා ගෙනම නැවත පොතෙහි මාතෘකාව මම කියවීමි: “යේසුස්වහන්සේගේ කථාන්දර පොත බයිබලය: සෑම කථාන්දරයක්ම උන්වහන්සේගේ නම මුමුණයි”.

“සෑම කථාන්දරයක්ම උන්වහන්සේගේ නම මුමුණයි”.

අපි අවංකව කථා කරමු නම් බයිබලය, විශේෂයෙන් පරණ ගිවිසුම තේරුම් ගැනීමට අමාරුය. දෙවියන්වහන්සේව නොදන්නා අය දෙවියන්වහන්සේගේ සෙනගව ආක්‍රමණය කරන්නේ ඇයි? උන්වහන්සේගේ චරිතය පවිත්‍ර බව අපි දනිමු. උන්වහන්සේ එවැනි කෲරකම්වලට ඉඩ දෙන්නේ කෙසේද? උන්වහන්සේගේ අරමුණ අපගේ යහපතට බව අපි දනිමු.

උන්වහන්සේගේ නැවත නැගිටීමෙන් පසු එම්මාවුස් මාර්ගයේදී යේසුස්වහන්සේට අනුගාමිකයන් දෙදෙනෙකු හමු විය. ඔවුහු උන්වහන්සේව හඳුනා නොගත්තහුය. ඔවුන් බලාපොරොත්තු වූ මෙසියස්වහන්සේගේ මරණය නිසා කලකිරීමෙන් සිටියෝය (ලූක් 24:19-24). ඉශ්‍රායෙල් ගළවන තැනන්වහන්සේ උන්වහන්සේ යයි ඔවුහු විශ්වාස කළෝය (21 පදය). ඉන්පසු ලූක් තුමා පවසන්නේ යේසුස්වහන්සේ ඔවුන් දිරිමත් කළ ආකාරයයි. උන්වහන්සේ “මෝසෙස්ගෙන්ද සියලු අනාගතවක්තෘවරුන්ගෙන්ද පටන්ගෙන, සියලු ලියවිලි වල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරාදුන්සේක” (27 පදය).

සෑම කථාවක්ම උන්වහන්සේගේ නම මුමුණන්නේය. අසීරු කථාන්දර පවා එසේ වේ. ඒවා පෙන්වන්නේ අපගේ ලෝකයේ බිඳුණුකම සහ අපට ගැළවුම්කාරයෙකු අවශ්‍ය බවයි. සෑම ක්‍රියාවක්ම, සිද්ධියක්ම, සෑම මැදහත්වීමක්ම මංමුළාව ගිය උන්වහන්සේගේ ප්‍රියයන්ට සළසා ඇති මිදීම පෙන්වන්නේය. ඒ අපව උන්වහන්සේ වෙත ගෙන ඒමටය.