අප මධුසමය අවසන් වී නිවසට නැවත එන විට මාගේ ස්වාමිපුරුෂයාත් මමත් ගුවන්තොටු පළේ අපගේ භාණ්ඩ පරීක්‍ෂා කරන තුරු සිටියෙමු. මම ඔහුට කථා කොට අප අසල සිටින පුද්ගලයෙකු ඔහුට පෙන්වීමි.

“ඒ කවුද?” මගේ ස්වාමිපුරුෂයා ඇසුවේය. මම ප්‍රීතියෙන් ඒ නළුවා රඟපෑ ප්‍රසිද්ධ භූමිකා කිහිපයක් කීවෙමි. ඉන්පසු ඔහු අසළට ගොස් අපත් සමග ඡායාරූපයකට පෙනී සිටින ලෙසට ඉල්ලීමි. වසර 24 කට පසුත් මම එම තරුව හමුවූ අවස්ථාව ගැන කීමට ආශා කරමි.

ජනප්‍රිය නළුවෙකු හඳුනා ගැනීම එකකි. නමුත් මා පුද්ගලිකව හඳුනා ගත යුතු තවත් තැනැත්තෙකු නිසා මම ස්තුතිවන්ත වෙමි. “මෙම තේජසේ රජ්ජුරුවෝ කවුද?” (ගීතාවලිය 24:8). ගීතිකාකරු වන දාවිත් ස්වාමින්වහන්සේව හඳුන්වන්නේ සර්ව බලධාරී මැවුම්කරුවාණෝ, නඩත්තුකරුවාණෝ සහ සියල්ලේ පාලකයාණෝ කියාය. ඔහු ගායනා කරන්නේ “පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය. මක්නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටෙවුසේක, ගංගා පිට ස්ථිරකළසේක” (1-2 පද). විශ්මයෙන් මුසපත් වී දෙවියන්වහන්සේ සියල්ලන්ට ඉහළින් සිටින බව දාවිත් ප්‍රකාශ කරන්නේය. නමුත් උන්වහන්සේගේ සමීපයට අපට යා හැකිය (3-4 පද). අපට උන්වහන්සේ දැනගත හැකිය. උන්වහන්සේගෙන් බලගැන්විය හැකිය. අප උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වන විට අප වෙනුවෙන් සටන් කිරීමට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය (8 පදය).

දෙවියන්වන්සේ එකම සත්‍ය සුප්‍රසිද්ධ තැනැත්තා බවත් අන් අය සමග බෙදා ගැනීමට වටිනා තැනැත්තා බවත් ප්‍රකාශ කිරීමට අවස්ථා අපට ලබා දෙන සේක. අප උන්වහන්සේගේ චරිතය ආවර්ජනය කරන විට උන්වහන්සේ නොහඳුනන අයට “උන්වහන්සේ කව්ද?” කියා ඇසීමට බොහෝ හේතූන් තිබිය හැකිය. එවිට දාවිත් මෙන් විශ්මිත මවිතයකින් ස්වාමින්වහන්සේව ඔවුන්ට පෙන්වා උන්වහන්සේගේ කථාව කීමට අපට අවස්ථාව ලැබෙන්නේය.