මාගේ මුල් අවුරුදු වලදී වෙන ඕනෑම දරුවෙකු මෙන් මම දඟකාර වීමි. කරදර වලට නොවැටෙන පිණිස මම මාගේ වැරදි ක්‍රියා සැඟවීමි. නමුත් මා කරන දේවල් මාගේ මව සොයා ගත්තාය. මාගේ දඟ වැඩ ඇය එතරම් ඉක්මණින් සහ නිවැරදිව දැන ගන්නා ආකාරය මා මවිත කළේය. මම එය එසේ වන්නේ කෙසේදැයි ඇයගෙන් ඇසීමි. ඇය සැම විට කීවේ “මගේ හිස පිටුපසත් ඇස් තිබෙනවා” කියාය. ඒ හෙයින් ඇය පිටුපස හැරෙන සෑම විටම මම ඇයගේ හිස නිරීක්‍ෂණය කළෙමි. ඒවා මට පෙනෙන්නේ නැද්ද නැත්නම් ඇයගේ රතු කෙස්වලින් එය වැසී තිබේද කියා මම කල්පනා කළෙමි. මා හැදෙන වැඩෙන විට ඇයගේ වැඩිපුර දෑස් සෙවීම අත්හැර දැමීමි. සිතන තරම් මම කපටි නැති බව මට පෙනී ගියේය. ඇයගේ අවධානය පෙන්නුම් කළේ තම දරුවන්ට ඇය තුළ ඇති ප්‍රේමණිය සැළකීමය.

මාගේ මවගේ අවධානය සහිත සැළකිල්ලට මම කෘතඥ වීමි (සමහර විට සමහර දේ සඟවා ගැනීමට බැරිවීම ගැන කලකිරීමටද පත්වීමි). මා ඊට වඩා කෘතඥ වන්නේ දෙවියන්වහන්සේ මුළු මනුෂ්‍ය වර්ගයා දකින හෙයිනි. උන්වහන්සේ ස්වර්ගයේ සිට අපව දකින සේක (ගීතාවලිය 33:13). අප දකිනවාට වඩා බොහෝ දේ උන්වහන්සේ දකින සේක. උන්වහන්සේ අපගේ දුකද අපගේ ආශාවන්ද එකිනෙකාට අප දක්වන ප්‍රේමයද දකින සේක.

දෙවියන්වහන්සේ අපගේ සත්‍ය චරිතය දකින සේක. අපට අවශ්‍ය කුමක්දැයි හරියාකාරවම දන්නා සේක. සම්පූර්ණ දැක්මක් සහතිව එනම් අපගේ සිත්වල අභ්‍යන්තර ක්‍රියාකාරකම්ද දකිමින් උන්වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අයව උන්වහන්සේ බලා ගන්නා සේක (18 පදය). උන්වහන්සේ අපට අවධානය දක්වන ප්‍රේමණීය පියාණන්ය.