බ්‍රසීලයේ කළමණාකාරවරියක් ඇයගේ ගොඩනැගිල්ලේ භාරකරුවන්ගෙන් ලිබිත වාර්තා ඉල්ලා යැව්වාය. දිනපතා එක් එක් කාමරය පවිත්‍ර කළ අයගේ නම, පවිත්‍ර නොකළ කාමර, එක් එක් කාමරයක ගත කළ කාලය යනාදිය ඇයට අවශ්‍ය කළාය. පළමු “දිනපතා වාර්තාව” ලැබුණේ සතියකට පසුවය. එය පුරවා තිබුණේ අර්ධ වශයෙනි.

කළමණාකාරවරිය එය සොයා බලන විට ඇය දැන ගත්තේ බොහෝ අයට කියවීමට බැරි බවය. ඔවුන් රැකියාවෙන් අස් කර දැමීමට ඇයට හැකියාව තිබුණි. නමුත් ඇය ඔවුන්ට භාෂා පංති ආරම්භ කළාය. මාස පහකට පසුව සෑම කෙනාම මුලික මට්ටමේ කියවීම කළ අතර රැකියාවේද නියුතු වූහ.

දෙවියන්වහන්සේ අපගේ අරගලයන් අවස්ථාවන් ලෙස භාවිතා කරන සේක. උන්වහන්සේට අඛණ්ඩව සේවය කිරීමට එය තුළින් අපව සන්නද්ධ කරන සේක. පේත්‍රෑස්ගේ ජීවිතය අත්දැකීම් නැතිකම සහ වැරදිවලින් ගහණ විය. ජලයෙහි ඇවිදීමට උත්සාහ කරන විට ඔහුගේ ඇදහිල්ල වැණින. යේසුස්වහන්සේ මාළිගා බද්ද ගෙවිය යුතුදැයි ඔහුට වැටහීමක් නොවීය (මතෙව් 17:24-27). ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසි පත්වීම සහ නැවත නැගිටීම ගැන අනාවැකිය ඔහු ප්‍රතික්‍ෂේප කළේය (16:21-23). සෑම කාරණාවක් තුළින්ම යේසුස්වහන්සේ තමන්වහන්සේ බලාපොරොත්තු වූ මෙසියස්වහන්සේය කියා පේත්‍රෑස්ට ඉගැන්වූ සේක (16 පදය). පේත්‍රෑස් ඇහුම්කන් දී පළමු සභාව ආරම්භ කිරීමට අවශ්‍ය කාරණා ඉගෙන ගත්තේය (18 පදය).

අද යම් අපොහොසත්වීමක් නිසා ඔබ අධෛර්යය වී සිටිනවාද? ඔබ උන්වහන්සේට කරන සේවයේදී මග පෙන්වා ඉගැන්වීමට එම කාරණය උන්වහන්සේ භාවිතා කරන සේක. පේත්‍රෑස්ගේ අඩුපාඩුකම් මධ්‍යයෙහි උන්වහන්සේ ඔහුව භාවිතා කිරීම අත් හැරියේ නැත. නැවත පැමිණෙන තුරු උන්වහන්සේගේ රාජ්‍යය ගොඩ නැගීම පිණිස අපව අඛණ්ඩව පාවිච්චි කිරීමට උන්වහන්සේට පුළුවන.