මාගේ පවුලේ අය බැහැ දැකීමට මාගේ අනාගත බිරිඳ රැගෙන ගිය අවස්ථාව මට කිසි දින අමතක නොවේ. මාගේ සහෝදරයන් දෙදෙනා දීප්තිමත් ඇස් වලින් යුතුව ඇයගෙන් ඇසුවේ “මේ මනුෂ්‍යයා තුළ ඔබ ඇත්තටම දැක්කේ කුමක්ද?” කියාය. ඇය සිනහ සී කීවේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඇය ප්‍රේම කරන පුද්ගලයා මා බවට පත්වී ඇති බවය.

ඒ දක්‍ෂ පිළිතුරට මම කැමැත්තෙමි. ඊට හේතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ අපගේ අතීතයට වඩා යමක් දකින හෙයිනි. ක්‍රියා 9 හි උන්වහන්සේ සාවුල් සුවකිරීම පිණිස අනනියස්ව එවු සේක. සාවුල් සභාවට පීඩා කළ කුප්‍රකට අයෙකු විය. දෙවියන්වහන්සේ ඔහුව අන්ධකර තිබුණි. මේ මෙහෙවර පිළිගැනීමට මුලින් අනනියස් සැකයෙන් අදි මදි කළේය. සාවුල් පීඩා කිරීමටද මරණයට පත් කිරීමටද කිතුණුවෝ අල්ලා ගත් බව ඔහු පැවසීය. දෙවියන්වහන්සේ අනනියස්ට කීවේ ඔහු අතීතයේ කව්රුන්ද යන්න නොව වර්තමානයේ ඔහු කව්රුන් වන්නේද කියා බලන ලෙසය. ඔහු, දන්නාවූ මුළු ලෝකයටද අන්‍යජාතීන්ට සහ රජුන්ටද ශුභාරංචිය ගෙන යන ඉවැන්ජලිස්ත වරයෙකු වනු ඇත (15 පදය). අනනියස් දුටුවේ ඵරිසියෙකු සහ පීඩා කරන්නෙකු වන සාවුල්ය. නමුත් දෙවියන්වහන්සේ දුටුවේ අපෝස්තලු වරයෙක් සහ ඉවැන්ජලිස්ත වරයෙක් වන පාවුල්ය.

සමහර විට අපට පෙනෙන්නේ අප මෙතෙක් ජීවත් වූ ලෙසටයි. ඒ අපගේ සියලු පරාජයන් සහ අඩුපාඩු සමගය. නමුත් දෙවියන්වහන්සේ අපව දකින්නේ අලුත් මැවිලි ලෙසය. අප සිටි ආකාරයෙන් නොව යේසුස්වහන්සේ තුළ අප සිටින ආකාරයෙන් සහ ශුද්ධාත්ම බලයෙන් අප නිමවන ආකාරයෙන්ය. අහෝ දෙවියනි, අප දෙසද අන් අය දෙසද එසේ බලන්න අපට උගන්වන්න.