එක් පිරිමි දරුවෙක් සභාවේ සිට නිවසට පැමිණ ප්‍රීතියෙන් පැවසුවේ එදින කථාව “දවස පුරා ඇවිදිමින් මාළු ඇල්ලු දරුවෙක් ගැන” කියායි. ඇත්තෙන්ම ඔහු කීවේ යේසුස්වහන්සේට රොටී සහ මසුන් දුන් පිරිමි ළමයා ගැනය.

යේසුස්වහන්සේ දවස පුරා සෙනඟට දේශනා කළ සේක. ගෝලයෝ කීවේ රොටී ගන්නා පිණිස සෙනගව ගමට යවන්න කියාය. “නුඹලා ඔවුන්ට කන්ට දෙන්න” (මතෙව් 14:16) යයි යේසුස්වහන්සේ කී සේක. එහි 5000 කට වැඩි පිරිසක් කෑමට සිටි හෙයින් ගෝලයෝ තුෂ්ණිම්භූත වූහ.

ඉතිරි කථාව ඔබ දන්නවා වෙන්ට පුළුවනි. පිරිමි දරුවෙක් තම දිවා ආහාරය වන රොටී පහක් සහ මසුන් දෙදෙනෙක් දුන් අතර යේසුස්වහන්සේ එයින් සෙනගට කන්න දුන් සේක (13-21 පද). පිරිමි දරුවාගේ ත්‍යාගශීලි කම දුටු අන් අයද තමන්ගේ ආහාර බෙදා ගත් බව කියන කණ්ඩායමක් සිටිති. නමුත් මතෙව්ගේ පැහැදිලි පරමාර්ථය වූයේ මෙය හාස්කමක් බව අප දැන ගැනීමය. මෙම කථාව ශුභාරංචි හතරේම දැක්වේ.

ඉන් අපට ඉගෙන ගත හැක්කේ කුමක්ද? පවුලේ අය, අසල්වාසීන්, මිතුරන්, හවුල් සේවකයින් එක එක ප්‍රමාණයේ අවශ්‍යතාවයන් ඇතිව අප අවට සිටිති. අපට වඩා හැකියාව තිබෙන අය වෙත අප ඔවුන්ව යවනවාද? ඇත්තෙන්ම සමහරුන්ගේ අවශ්‍යතාවයන් අපගේ හැකියාවන්ට වඩා වැඩිය. නමුත් සෑම විටම නොවේ. ඔබ වෙත ඇත්තේ කුමක්ද – වැළඳ ගැනීමක්, කරුණාවන්ත වචනයක්, ඇහුම්කන් දෙන කන් දෙකක්, කෙටි යාච්ඤාවක්, ඔබ එකතුකර ගත් ප්‍රඥාවක් – එය යේසුස්වහන්සේට දෙන්න. උන්වහන්සේ කරන්නේ කුමක්දැයි බලන්න.