ස්ටීවන් හැදී වැඩුණේ නැගෙනහිර ලන්ඩනයේ දරුණු පළාතකය. වයස දහය වන විට ඔහු අපරාධවලට යොමු විය. “සෑම කෙනාම කුඩු විකුණනවා නම්, හොරකම් කරනවා නම්, බොරු කියනවා නම් ඔබත් ඒවාට වැටෙනවා. ඒක ජීවිත ක්‍රමයක් පමණයි” කියා ස්ටීවන් කීවේය. නමුත් වයස විස්සේදී ඔහුගේ ජීවිතය වෙනස් කළ සිහිනයක් ඔහු දුටුවේය. “ස්ටීවන්, නුඹ මිනීමරලා හිරේ යනවා” යයි කියන දෙවියන්වහන්සේගේ හඬ මට ඇසුණි. එම පැහැදිලි සිහිනය ඔහුට අනතුරු ඇඟවීමක් විය. ඔහු දෙවියන්වහන්සේ වෙතට හැරී යේසුස්වහන්සේ ඔහුගේ ගැළවුම් කරුවාණන් ලෙස පිළිගත්තේය. ශුද්ධාත්මයාණෝ ඔහුගේ ජීවිතය වෙනස් කළ සේක.

නගර මධ්‍යයෙහි සිටින දරුවන්ට විනය, සදාචාරය සහ ගරුත්වය ක්‍රීඩා තුළින් උගන්වන සංවිධානයක් ස්ටීවන් ආරම්භ කළේය. දරුවන් සමග ඔහු යාච්ඤා කරයි. ඔවුන්ව පුහුණු කරයි. නමුත් ඔහුගේ සාර්ථකත්වය ගැන ඔහු දෙවියන්වහන්සේට ගෞරවය දෙයි. “වැරදි මග යන සිහින හරිගැස්සීම” යැයි ඔහු එය නම් කරයි.

අපගේ අතීතය අමතක කර දෙවියන්වහන්සේ පසුපස අප යන විට පාවුල් එපීසවරුන්ට දුන් ආඥාව මෙන් අප අලුත් ජීවිත ක්‍රමයක් වැළඳ ගනිමු. අපගේ පරණ මාංශය එහි කපටි ආශාවලින් දුෂිතවී තිබුණද අපට දිනපතා “අලුත් මිනිසා” පැළඳ ගැනීම කළ හැකිවේ. එය මවා ඇත්තේ දෙවියන්වහන්සේ මෙන් වීම පිණිසය (එපීස 4:22, 24). ශුද්ධාත්මයාණන් තුළින් අපව වඩ වඩා උන්වහන්සේ මෙන් කරන්න යැයි අප ඉල්ලන විට සෑම ඇදහිලිවතෙකුම මේ අඛණ්ඩ ක්‍රියාවලිය වැළඳ ගන්නේය.

“මාගේ ජීවිතය කණපිට හැරවීමට ඇදහිල්ල අත්‍යවශ්‍ය පදනමක් විය” කියා ස්ටීවන් කියයි. මෙය ඔබගේ ජීවිතයේ සත්‍ය වී ඇත්තේ කෙසේද?