අපගේ නිවස අසළ ඇති දෙවන අවස්ථාවේ බයිසිකල් කඩයේ විසිකරන පාපැදි එකතුකර ස්වේච්ඡා සේවකයෝ ඒවා අලුත්වැඩියා කර අවශ්‍යතා ඇති දරුවන්ට තෑගි කරති. කඩයේ ආරම්භක අර්නි ක්ලාක් අවශ්‍යතා ඇති වැඩිහිටියන්ටද නිවාස නැත්තවුන්ටද ආබාධිතයන්ටද හමුදාවෙන් ඉවත්වී සිවිල් ජීවිතය පුරුදුවන්නන්ටද පාපැදි ලබා දුන්නේය. පාපැදිවලට දෙවන අවස්ථාවක් ලැබෙනවා පමණක් නොව පාපැදි ලබා ගන්නා අයටද නව ආරම්භයක් ඇති වෙනවා ඇත. විශ්‍රාමික හමුදා භටයෙකු මෑතකදී එම පාපැදියේ නැගී රැකියා සම්මුඛ පරීක්‍ෂණයකටද ගියේය.

දෙවන අවස්ථාව විශේෂයෙන් දෙවියන්වහන්සේගෙන් එන්නේ නම් එයට කෙනෙකුගේ ජීවිතය වෙනස් කළ හැකිය. අනාගතවක්තෘ මීකා එවැනි අනුග්‍රහයක් දිගු කළේ ඉශ්‍රායෙල් ජාතිය අල්ලසෙහි, සොරකමෙහි සහ වෙනත් පිළිකුල් පාප වල ඇලී ගැලී සිටින කාලයකය. “භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත” (මීකා 7:2) කියා ඔහු වැළපෙන්නේය.

දෙවියන්වහන්සේ නපුර අනිවාර්යයෙන්ම විනිශ්චය කරන බව මීකා දැන සිටියේය. නමුත් උන්වහන්සේ ප්‍රේමණීය නිසා පසුතැවිලි වන්නන්ට දෙවන අවස්ථාවක් දෙන සේක. එම ප්‍රේමයෙන් යටහත් වූ සිතින් මීකා අසන්නේ “අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද?” (18 පදය) යනුවෙනි.

අපටද ප්‍රීතිවිය හැක්කේ අපගේ පව්වලට සමාව ඉල්ලන්නේ නම් අපව දෙවියන්වහන්සේ අත්නාරින නිසාය. මීකා දෙවියන්වහන්සේ ගැන පැවසුවේ “උන්වහන්සේ නැවත අපට අනුකම්පාකරනසේක; අපේ අපරාධ පාගාදමනසේක. ඔබවහන්සේ ඔවුන්ගේ සියලුම පාප මුහුදේ ගැඹුරට හෙළනසේක” (19 පදය) යනුවෙනි. දෙවියන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ සොයන සියල්ලන්ට දෙවන අවස්ථාවක් දෙන්නේය.