මාත් මාගේ භාර්යාවත් කැලිෆෝර්නියාවේ සාන්ත බාබරා වෙත ගියෙමි. ඒ වසර 35 කට පෙර අප හමුවී ප්‍රේමයෙන් වෙළි සිටි නගරයයි. අප ගියේ අපගේ විදුහලේ ආදි සිසු එකමුතුවකටය. අපගේ තරුණ කාලයේ එකට සිටි ස්ථාන බැලීමට යාමට අපි තීරණය කළෙමු. අප එකල කැමතිව සිටි මැක්සිකානු ආපන ශාලාව වෙත පැමිණි විට එහි තිබුණේ ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන ආයතනයකි. ආපන ශාලාව සහ එහි දශක 4 ක සේවය සැමරෙන වානේ ඵලකයක් බිත්තියක එල්ලෙමින් තිබුණි.

දැන් හිස්ව ඇති සුපුරුදු පැති මංපෙත දෙස මම බැලීමි. එකල එහි තැනින් තැන විචිත්‍ර වර්ණ මේසද ඒවා ඉහළින් විශාල කුඩද තිබුණි. අප අවට බොහෝ දේ වෙනස්ව තිබුණි. නමුත් එම වෙනස මධ්‍යයෙහි දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම වෙනස් වන්නේ නැත. දාවිත් තීක්‍ෂණ ලෙස දුටුවේ “මනුෂ්‍යයාගේ දවස් වනාහි තණකොළ මෙන්ය; ඔහු කෙතේ මලක් මෙන් සශ්‍රීකවේ. මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි; එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේ” (ගීතාවලිය 103:15-17) යනුවෙනි. දාවිත් ගීතිකාව අවසන් කරන්නේ “මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව” (22 පදය) යනුවෙනි.

පූරාණ දර්ශණවාදියෙකු වූ හෙරොක්ලිටස් කී ලෙස “ඔබට නැවත එකම ගඟට පා තබන්න නුපුළුවන”. සෑම විටම අප අවට ජීවිතය වෙනස් වේ. දෙවියන්වහන්සේ වෙනස් නොවේ. උන්වහන්සේගේ පොරොන්දු ක්‍රියාත්මක කිරීම ගැන අපට සැම විටම විශ්වාසය තැබිය හැකිය. පරම්පරාවට උන්වහන්සේගේ විශ්වාසවන්තකම සහ ප්‍රේමය ස්ථිරය.