“දෙවියන්වහන්සේගේ ප්‍රේම ලිපි” යන පොතෙහි ග්ලෙනිස් නෙලිස්ට් විසින් ස්වාමින්වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට දරුවන්ට ආරාධනා කරයි. මේ ළමා කථා වල සෑම බයිබල් කථාන්දරයකින් පසු දරුවාගේ නම ලිවීමට ඉඩ තබා තිබේ. බයිබලීය සත්‍යයන් පුද්ගලික භාවයෙන් ඉදිරිපත්කර ඇති නිසා බයිබලය කථා පොතක් පමණක් නොවන බව දරුවන්ට වැටහේ. ස්වාමින්වහන්සේ ඔවුන් සමග සම්බන්ධතාවයක් පවත්වන බවත් උන්වහන්සේ දරුවන්ට මහත් ලෙස ප්‍රේම කර ඔවුන්ට බයිබලය තුළින් කථා කරන බවත් ඉගැන්වේ.

මාගේ ඥාති පුත්‍රයාට මම එම පොත මිළදී ගතිමි. දෙවියන්වහන්සේගේ සෑම ලිපියකටම පෙර ඇති හිඩැසේ දරුවාගේ නම ලීවෙමි. ඔහුගේ නම දුටු විට ඔහු උද්දාමයට පැමිණ “දෙවියන්වහන්සේ මටත් ප්‍රේම කරනවා” කියා කීවේය. අපගේ ප්‍රේමණීය මැවුම්කරුවාණන්ගේ ගැඹරු පූර්ණ පුද්ගලික ප්‍රේමය දැන ගැනීම කෙතරම් සහනයක්ද!

යෙසායා තුළින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට කථා කළ විට ඔහු ඔවුන්ගේ අවධානය ස්වර්ගය දෙසට යොමු කළේය. ස්වාමින්වහන්සේ ස්ථිර කළේ උන්වහන්සේ තාරකා සේනාව පාලනය කරන බවය (යෙසායා 40:26). එක් එක් තාරකාවේ වටිනාකම උන්වහන්සේ තීරණය කරන සේක. එක එකට ප්‍රේමයෙන් මග පෙන්වන සේක. උන්වහන්සේ තම සෙනගට සහතික කලේ එක් තාරකාවක්වත් අමතක නොකරන බවත් උන්වහන්සේ ස්ථිර අරමුණකින් සහ නිමා නොවන ප්‍රේමයකින් අඹා ඇති එක් දරුවෙක්වත් අමතක නොකරන බවත්ය.

බයිබලය තුළ ඇති අපගේ සර්ව බලධාරී ස්වාමින්වහන්සේගේ සමීපතම පොරොන්දු සහ ප්‍රකාශයන් අප සමරන විට අපගේ නම්ද අපට ලිවිය හැකිය. දරුවෙකුගේ සතුට මෙන් සතුටකින් අපට විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළ හැක්කේ “දෙවියන්වහන්සේ මටත් ප්‍රේම කරනවා” කියාය.