කවියෙකු වූ කාර්ල් සෑන්ඞ්බර්ග් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඒබ්‍රහැම් ලින්කන් ගැන ලීවේ “මනුෂ්‍ය ඉතිහාසයේ වානේ සහ විල්ලුද මිනිසෙකු ලොව පහළ වන්නේ ඉඳහිටය… ඒ මනුෂ්‍යයාගේ හද තුළ දැඩි කුණාටුවක බලයක්ද කිව නොහැකි පූර්ණ සාමයක්ද විය” කියාය. ඔහුගේ තානාන්තරයේ බලය නිදහස ආශා කරන තනි පුද්ගලයන් ගැන සැළකීමට සමතුලිත කළ ආකාරය මෙම වානේ සහ විල්ලුද ගතිය විස්තර කරයි.

මුළු ඉතිහාසයේ ශක්තිය, මෘදුකම, බලය සහ සානුකම්පාව හරියාකාරව සමතුලිත කළේ එක් පුද්ගලයෙක් පමණී. ඒ පුද්ගලයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. යොහන් 8 හි ආගමික නායකයෝ වරදෙහි බැඳුණු ස්ත්‍රීයක් මරණයට තීන්දු කරන පිණිස ගෙන ආ විට යේසුස්වහන්සේ වානේ සහ විල්ලුද ගතිය පෙන්නුම් කළ සේක. ලේ පිපාසයෙන් සිටි කල්ලියකට විරුද්ධව සිටිමින් උන්වහන්සේ වානේ ගතිය ප්‍රදර්ශනය කළ සේක. ඔවුන්ගේ විනිශ්චයේ දෑස් ඔවුන් වෙතම හැරවීමට ක්‍රියා කළ සේක. උන්වහන්සේ ඔවුන්ට කීවේ “නුඹලා අතරෙන් පව් නැත්තා ඈට පළමුකොට ගලක් ගසාවා” කියාය (7 පදය). ඉන්පසු උන්වහන්සේ ඇයට විල්ලුද ගතිය පෙන්වමින් අනුකම්පාවෙන් යුතුව “මමත් නුඹ වරදට පත් නොකරමි. යන්න. මෙතැන් පටන් තවත් පව් නොකරන්න” (11 පදය) යයි කී සේක.

උන්වහන්සේගේ “වානේ සහ විල්ලුද” ක්‍රියා දෙස ඇස් යොමු කරමින් අප අන් අයට දක්වන ප්‍රතිචාර වලදී යේසුස් වහන්සේ මෙන් අපව හැඩගසන්නාවූ දෙවියන්වහන්සේගේ ක්‍රියාව පෙන්නුම් කෙරෙනු ඇත. දයාවේ විල්ලුද වලට සහ සාධාරණත්වයේ වානේ වලට පිපාසිතව සිටින ලොවකට උන්වහන්සේගේ හදවත පෙන්වීමට අපට පුළුවන.