එය ස්පර්ශයක් පමණී. නමුත් කොලින්ට එය විශාල වෙනසක් ඇති කළේය. යේසුස්වහන්සේට විරුද්ධ ප්‍රදේශයක සමාජ සේවයක් කිරීමට ඔහු සහ ඔහුගේ කණ්ඩායම සුදානම් වන විට ඔහුගේ මානසික අවපාතය වැඩිවීම ආරම්භ විය. ඔහු කණ්ඩායමේ මිතුරෙක් සමග තම කණස්සල්ල බෙදාගත් විට මිතුරා තම හස්තය කොලින්ගේ උරහිස් මත තබා ධෛර්යමත් වචන කිහිපයක් පැවසුවේය. කොලින් අද ඒ දෙස බලා පවසන්නේ එය ඔහුට හැරවුම් ලක්‍ෂයක් වූයේ දෙවියන්වහන්සේ ඔහු සමගය යන සාමාන්‍ය සත්‍යය ඔහුට සිහිපත් කළ බලවත් සිහිකිරීමක් ලෙසටය.

ශුභාරංචිය දේශනා කළ නිසා යේසුස්වහන්සේගේ සමීප මිතුරෙක් සහ ගෝලයෙක් වූ යොහන්ව පාළු දුපතක් වූ පත්මොස් වෙත යවා තිබුණි. එහිදී ඔහුට “හොරණෑවක මෙන් මහත් ශබ්දයක්” (එළිදරව් 1:10) ඇසුණි. එම සිද්ධියට පසු ස්වාමින්වහන්සේ දර්ශනය විය. යොහන් “මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුළ වැටුණේය”. නමුත් එම බියකරු අවස්ථාවේදී ඔහුට සහනය සහ ධෛර්්‍යය ලැබුණි. යොහන් ලීවේ “එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක් : භය නොවන්න. මම පළමුවෙනියා සහ අන්තිමයාය” යනුවෙන් කියනු ඇසුණු බවය (17 පදය).

දෙවියන්වහන්සේ අපව අපගේ සහන කලාපයෙන් ඉවත ගන්නේ අපට අලුත් දේවල් පෙන්වීමටය. අපගේ දක්‍ෂතා වැඩි කිරීමටය. වර්ධනය වීමට අපට උපකාර වීමටය. එසේම ඕනෑම අවස්ථාවක් තුළින් යෑමට උන්වහන්සේ අපට දිරිය සහ සහනය දෙන සේක. උන්වහන්සේ අපගේ පරීක්‍ෂාවන් තුළදී අපව තනි කරන්නේ නැත. සෑම දෙයක්ම උන්වහන්සේ පාලනය කරන සේක. අපව උන්වහන්සේගේ දෑතෙහි තබා ගෙන සිටින සේක.