දහ අට වියැති එමා සමාජ වෙබ් ජාල වල යේසුස්වහන්සේ ගැන විශ්වාසවන්තව කථා කරන්නීය. ඇයගේ සතුට සහ ක්‍රිස්තුස්වහන්සේට ඇති ප්‍රේමය සහ උනන්දුව, අපහාස කරන්නන්ගේ අපහාසයට ලක්වුවද ඇය නතර වූයේ නැත. සමහරු ඇයගේ පිටස්තර පෙනුම ගැනද ප්‍රකාශයන් කළහ. තවත් සමහරු දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඇයගේ ඇදහිල්ල නිසා ඇය මෝඩියෙක් යයි කියා ඇත. එම අකරුණාවන්ත වචන ඇයගේ සිත තුළට කා වැදුණද නිර්භීත ඇදහිල්ලෙන්ද යේසුස්වහන්සේට සහ අන් අයට ඇති ප්‍රේමයෙන්ද ඇය ශුභාරංචිය පවසන්නීය. සමහර විට ඇයගේ අනන්‍යතාවය සහ වටිනාකම අන් අයගේ විවේචනවලට යට කිරීමට ඇයට පරීක්‍ෂාවන් ඇති වන්නීය. ඇය එවිට දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලයි. තමාට පහර දෙන අය වෙනුවෙන් යාච්ඤා කරයි. වචනය මෙනෙහි කරයි. ආත්මයාණන්වහන්සේ දෙන ධෛර්යයන් සහ ස්ථිරතාවයෙන් ඉදිරියට යයි.

ගිඩියොන්ට බියකරු ආක්‍රමණිකයන් වන මිදියන්වරු හමුවූහ (විනිශ්චයකාරයා 6:1-10). දෙවියන්වහන්සේ ඔහුට ධෛර්යයවත් බලවත් පුද්ගලයා යැයි ප්‍රකාශ කළද ගිඩියොන් තම සැකයන් සහ තමාට දමාගත් සීමාවන් සහ අනාරක්‍ෂිතභාවයන් ඉවත් කර ගැනීමට වීර්යය කළේය (11-15 පද). ඔහු කිහිප වරක් ස්වාමින්වහන්සේගේ අභිමුඛය සහ තමාගේ සුදුසුකම් ගැන ප්‍රශ්න කළත් අවසානයේ ඇදහිල්ලෙන් යටත් විය.

අප දෙවියන්වහන්සේ මත විශ්වාසය තබන විට උන්වහන්සේ කියන දෙස සත්‍ය ලෙස විශ්වාස කර ජීවත් විය හැකිය. පීඩාව අපගේ අනන්‍යතාවය ගැන සැක කිරීමට අපට පෙළඹවීම් දුන්නද අපගේ ප්‍රේමණීය පියාණෝ උන්වහන්සේගේ අභිමුඛය ස්ථිර කර අප වෙනුවෙන් සටන් කරන සේක. උන්වහන්සේගේ නිමා නොවන අනුග්‍රහයේ ආරක්‍ෂාවී උන්වහන්සේගේ සත්‍යයෙන් රැකවරණය ලබා අපට බලවත් සොල්දාදුවන් මෙන් උන්වහන්සේගේ පරම ප්‍රේමයෙන් සන්නද්ධවී ඉදිරියට යාමට හැකි බව උන්වහන්සේ සහතික කරන සේක.