මට පස් අවුරුදු සැළැස්මක් ඇද්ද කියා සෙනග මාගෙන් අසති. මා නොගිය පාරක වසර පහක සැළසුමක් හදන්නේ කෙසේද? මා 1960 ගණන් ගැන සිතමි. ඒ කාලයේ ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සිසුන්ට මම දේවගැති වරයෙකු වීමි. මා විශ්ව විද්‍යාලයෙහි ශාරීරික අධ්‍යාපනයට ශාස්ත්‍රපති උපාධියක් ලබා සිටියෙමි. බොහෝ දිනවල විශ්ව විද්‍යාලය වටා ඇවිදීමි. ඒ අන්ධ මිනිසෙකු අඳුරේ අතපත ගාන ලෙසය. කුමක් කළ යුතුදැයි දෙවියන් වහන්සේගෙන් ඇසිමි. එක් දිනක් සිසුවෙකු හිටි හැටියේ ඔහුගේ බයිබල් අධ්‍යනයේ පාඩමක් ගන්න යැයි මට කීවේය. ආරම්භය එසේ විය.

දෙවියන්වහන්සේ හන්දියක සිටගෙන පාර පෙන්වන්නේ නැත. උන්වහන්සේ මග පෙන්වන්නාය. උන්වහන්සේ මාර්ග සළකුණක් නොවේ. උන්වහන්සේ අප සමග ගමන් කරන සේක. අප නොසිතූ පාරවල ගෙන යන සේක. අපට ඇත්තේ උන්වහන්සේ සමග ගමන් කිරීමය.

පාර පහසු නොවනු ඇත. පාර දිගේ රළුතැන් තිබෙනු ඇත. නමුත් දෙවියන්වහන්සේ අන්ධකාරය ආලෝකයට හරවන බවටත් අපව අත්නාරින බවටත් පොරොන්දු වන සේක (යෙසායා 42:16). උන්වහන්සේ දිගටම අප සමග සිටින සේක.

පාවුල් කීවේ දෙවියන්වහන්සේට “අපි ඉල්ලන නොහොත් සිතන හැමදේට වඩා ඉතා අධික ලෙස කරන්ට බලය තිබෙන” බවය (එපීස 3:20). අපට දේවල් සැලසුම්කර සිතෙහි මවා ගත හැකිය. නමුත් අපගේ ස්වාමින් වහන්සේගේ සිතිවිලි අපගේ සැලසුම්වලට වඩා අති විශාලය. අපගේ සැළසුම් ලිහිල්ව තබා ගනිමු. දෙවියන් වහන්සේ සිතන්නේ කුමක්දැයි සිතමු.