ලන්ඩන්හි ටේට් නූතන කලාගාරයට මා ගිය විට එක් කලාකෘතියක් මාගේ අවධානය ගත්තේය. එය නිම කර තිබුණේ බ්‍රසිලියානු කලාකරුවෙකු වන කිල්ඩෝ මියර්ලස් විසිනි. එය කුළුණක් ලෙස පරණ ගුවන් විදුලි යන්ත්‍ර දහස් ගණනක් යොදා සාදා තිබුණි. සෑම ගුවන් විදුලි යන්ත්‍රයක්ම එක් එක් ගුවන් විදුලි මධ්‍යස්ථානයකට සූසර කර තිබුණි. ඉන් විශාල වියවුල් ශබ්දයක් ඇසුණි. එය තේරුමක් නැති කථාවකි. මියර්ලස් එයට “බාබෙල්” කියා නම් කර තිබුණි.

මාතෘකාව නිවැරදිය. මුල් බාබෙල් කොත කාලයෙහි දෙවියන්වහන්සේ ස්වර්ගය ඇල්ලීමට මනුෂ්‍යයන් කළ උත්සාහය වියවුල් කළේ මිනිස් භාෂා අවුල් කිරීමෙනි (උත්පත්ති 11:1-9). එකිනෙකා සමග තවදුරටත් සංනිවේදනය කිරීමට නොහකිව මනුෂ්‍ය වර්ගයා විවිධ උපභාෂා කථා කරන ගෝත්‍රවලට වෙන් විය (10-26 පද). එදින සිට භාෂා බෙදීම් නිසා අපට එකිනෙකා තේරුම් ගැනීම අරගලයක් වී තිබේ.

එහි දෙවෙනි කොටසක් තිබේ. පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මය පළමු කිතුණුවන් වෙත පැමිණි කල එදින යෙරුසලමට පැමිණ සිටි ජනයාගේ විවිධ භාෂාවලින් ප්‍රශංසා කරන්නට දෙවියන්වහන්සේ කිතුණුවන්ට ඉඩ හැරිය සේක (ක්‍රියා 2:1-2). මේ හාස්කම තුළින් ඔවුන්ගේ ජාතිය හෝ භාෂාව කුමක් වූවත් ඔව්හු එකම පණිවුඩය ඇසුවෝය. බාබෙල්හි වියවුල කණපිට හැරවුණි.

ජාති සහ සංස්කෘතික වෙනස්කම් වලින් පිරි ලොවක මෙය යහපත් ආරංචියකි. යේසුස්වහන්සේ මගින් දෙවියන් වහන්සේ සැම ජාතියක්, ගෝත්‍රයක් සහ භාෂාවක් තුළින් (එළිදරව් 7:9) අලුත් මිනිස් වර්ගයක් සාදන සේක. මා ටේට් නූතන කලාගාරයේ සිටින විට හදිසියේ ඒ සියලු ගුවන් විදුලි එකම සංඥාව ලැබ කාමරය තුළ සිටින සෑම කෙනෙකුටම එකම ගීතයක් එනම් “විශ්මිත කරුණාව කෙතරම් මිහිරි හඬක්ද” යන ගීතය ගායනා කළොත් යයි කල්පනා කළෙමි.