එඩ්වඩ් පේසන් (1783-1827) ගත කළේ ඉතා අසීරු ජීවිතයකි. ඔහුගේ බාල සහෝදරයාගේ මරණය ඔහුව දැඩිව චංචල කළේය. ඔහු මානසිකව වේදනා වින්දේය. දැඩි හිස රුදාවෙන් දින ගණන් පීඩා වින්දේය. ඒ මදිවාක් මෙන් ඔහු අශ්වයෙකු පිටින් වැටී අතක් අකර්මණ්‍ය විය. ක්‍ෂය රෝගය සෑදී මරණාසන්න විය. නමුත් මවිත විය හැකි කාරණය නම් ඔහු බලාපොරොත්තු කඩවී අසහනයට පත් නොවීමය. ඔහුගේ මිතුරෝ කීවේ එඩ්වඩ් මිය යන විට ප්‍රීතියෙන් ඉපිලෙමින් සිටි බවයි. එය එසේ සිදු වූයේ කෙසේද?

රෝමයේ සිටින ඇදහිලිවතුන්ට ලියමින් අපෝස්තලු පාවුල් පෙන්වූයේ තත්ත්වය කුමක් වුවද දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ සත්‍යතාවය ගැන ඔහු තුළ තිබූ සම්පූර්ණ ස්ථිරතාවයයි. ඔහු නිර්භීතව අසන්නේ “දෙවියන්වහන්සේ අපේ පක්‍ෂයට සිටින සේක් නම් අපට විරුද්ධ වන්නේ කවුද?” (රෝම 8:31) කියාය. දෙවියන්වහන්සේ අපව ගළවා ගැනීම පිණිස තමන්වහන්සේගේම පුත්‍රයා අප උදෙසා දුන් සේක් නම් මේ ජීවිතය හොඳින් නිම කිරීමට අවශ්‍ය සියලු දෙය උන්වහන්සේ අපට දෙන සේක. තමා මුහුණ දුන් දරා ගැනීමට නොහැකි කාරණා හතක් පාවුල් ලැයිස්තුගත කරයි. එනම් කරදර, අසීරුතා, පීඩා, සාගත, නිර්වස්ත්‍රකම, අනතුරු සහ කඩුවයි (35 පදය). නරක දේවල් සිදුවීම ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය නවත්වන්නේ යැයි ඔහු අඟවන්නේ නැත. නමුත් පාවුල් කීවේ “අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව” (37 පදය) කියාය.

මේ ලෝකයෙ අවිනිශ්චිතභාවය තුළ දෙවියන්වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැක්කේ “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේය” (39 පදය) කියා ස්ථිරවම දන්නා හෙයිනි.