පැරණි කථාවකට අනුව නිකලස් (ඔහු ඉපදී ඇත්තේ ක්‍රි:ව: 270 දීය) නැමැති පුද්ගලයෙකු ඉතා දුගී පියෙක් ගැන ඇසීය. එම පියා එතරම් දුගී වූ නිසා ඔහුට තම දියණියන් තිදෙනාව පෝෂණය කිරීමට නොහැකි විය. ඔවුන්ගේ දෑවැදි ගැන කුමක් කියන්නද? පියාට උපකාර කිරීමට නිකලස් සිතුවේය. නමුත් එය රහසක්ව තබා ගැනීමට ඔහුට අවශ්‍ය විය. නිකලස් රන් කාසි බෑගයක් විවෘතව තිබූ ජනේලයකින් ගෙට විසි කළේය. එය වැටුණේ ලිප උඩ වේලෙමින් තිබූ මේස් කුට්ටමක් මතටය. එම පුද්ගලයා ශාන්ත නිකලස් නමින් හැඳින්වුනු අතර පසු කාලයකදී අප දන්නා නත්තල් සීයා බවට පත් විය.

ඉහළින් ආ එම ත්‍යාගය ගැන ඇසූ විට මම පියවූ දෙවියන්වහන්සේ ගැන සිතුවෙමි. උන්වහන්සේ ප්‍රේමයෙන් සහ අනුකම්පාවෙන් යුතුව ඓශ්චර්යාත්මක උපතක් මගින් උන්වහන්සේගේ පුත්‍රයා වූ වටිනාම ත්‍යාගය මෙලොවට එවූ සේක. මතෙව්ගේ ශුභාරංචියට අනුව යේසුස්වහන්සේ පරණ ගිවිසුමේ අනාවකියක් වන
“කන්‍යාවක් ගර්භණිව පුත්‍රයෙකු බිහිකර එම්මානුවෙල් (දෙවියන්වහන්සේ අප සමගය) යන නම තබනු ඇත” යන්න ඉෂ්ට කළ සේක (1:23).

යේසුස්වහන්සේ නිකලස් තුමාගේ තෑග්ගටත් වඩා විශ්මිත ත්‍යාගයකි. උන්වහන්සේ මනුෂ්‍යයෙක් වීම පිණිස ස්වර්ගය අත්හැරිය සේක. මිය ගොස් නැවත උත්ථාන වූ සේක. අප සමග ජීවත්වන දෙවියන්වහන්සේ වන සේක. අප සිත් රිදීමෙන් සහ වේදනාවෙන් සිටිනා විට උන්වහන්සේ අපට සහනය දෙන සේක. අපි සිතෙන් වැටී සිටිනා විට උන්වහන්සේ අපව දිරිමත් කරන සේක. අප රැවටීමට භාජනය වන විට උන්වහන්සේ අපට සත්‍යය එළිදරව් කරන සේක.