එක්සත් ජනපදයේ මාගේ ප්‍රාන්තයේ ශීත සෘතුව කුරිරු විය හැකිය. සෙල්සියස් අංශක බිදුවටත් වඩා ඌෂ්ණත්වය අඩු වේ. හිම වැටීම නවතින්නේ නැත. ඇඟ කිලිපොලා යන එක් සීතල දිනයක මම හිම ඉවත් කරමින් සිටියෙමි. ඒ හිම ඉවත් කරන දහස් වන වතාව විය හැකිය. අපගේ තැපැල් බෙදන්නා මට කොහොමද කියා ඇසීමට නැවතුණේය. මම ශීත සෘතුවට අකමැති බවත් හිමෙන් හෙම්බත්වී සිටින බවත් ඔහුට පැවසුවෙමි. මෙම කාලගුණ තත්ත්වය පවතින කාලයේදී ඔහුගේ රැකියාවද ඉතාම වෙහෙසකර විය හැකියි නේද කියා මම ඔහුගෙන් ඇසුවෙමි. නමුත් ඔහුගේ ප්‍රතිචාරය වූයේ “ඔව්! නමුත් මට රැකියාවක් හරි තියෙනවා. බොහෝ අයට රැකියා නැහැ. මට රැකියාවක් තිබෙන නිසා මම ස්තුතිවන්ත වෙනවා” යනුවෙනි.

ඔහුගේ කෘතඥතාවයේ ආකල්පය මගේ සිත්ගත් බව කිව යුතුය. ජීවිතයේ අවස්ථා අප්‍රසන්න වූ විට අපට ඇති සියල්ල ගැන ස්තුති කිරීම පහසුවෙන් අපි අමතක කරමු.

පාවුල් කොලොස්සියේ ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ට කීවේ “ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය ඔබ සැමගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස ඔබ සැම එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න” (කොලොස්සි 3:15) කියාය. ඔහු තෙසලෝනිකයන්ට ලීවේ “සියල්ලෙහිදී ස්තුති කරන්න. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය” (1 තෙසලෝනික 5:18) කියාය.

අපට සත්‍ය අරගල සහ වේදනාව ඇති විටෙක පවා අපට දෙවියන්වහන්සේගේ සමාදානය දැකිය හැකි වන්නේය. අපි එය අපගේ සිත් ආණ්ඩු කිරීමට ඉඩ දෙමු. එම සාමාදානය තුළ ක්‍රිස්තුස්වහන්සේ මගින් අපට ඇති සියල්ල අපට මතක් වනු ඇත. ඒ තුළ ඇත්තෙන්ම අපට ස්තුතිවන්ත විය හැකිය.